(අමිල සම්පත් ශ්‍රී)

තිස්සමහාරාම කාවන්තිස්සපුර ප්‍රදේශයේ කම්මල්කරුවකු ලෙස පෙනී සිටිමින් ගිනි අවි සෑදූ පුද්ගලයකු එම කම්හලේ නිෂ්පාදනය කරනු ලැබූ ගිනි අවි පහක් හා ගිනි අවි සෑදීමට ගන්නා උපකරණ තොගයක් සමඟ පොලිස් අත්අඩංගුවට ගත් බව තිස්සමහාරාම පොලිසිය කියයි.

ගිනි අවියක් රුපියල් පහළොස් දාහක් සහ විසිදාහක් අතර මුදලකට අලෙවි කරන බවත් එලෙස ගිනි අවි මිලදී ගත් තවත් සැකකරුවෝ තිදෙනෙක් ද තිස්සමහාරාම පොලිසියේ අපරාධ අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

තිස්සමහාරාම යාල ආශ්‍රිතව දඩමස් ජාවාරම ඉතා බහුල වශයෙන් සිදුකරන බවට තිස්සමහාරාම පොලිස් බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරු මත බලපත්‍ර රහිත ගිනිඅවි සොයා විශේෂ විමර්ශනයක් සිදුකිරීමට තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව රන්මිණිතැන්න ප්‍රදේශයේ ගිනිඅවියක් සමග අත්අඩංගුවට ගත් දඩමස් ජාවාරම්කරුවකු වන හතළිස් දෙහැවිරිදි දඩයක්කරුවකුගෙන් දීර්ඝ වශයෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ ගිනිඅවි නිපදවන කම්හල පිලිබඳ තොරතුරු අනාවරණය කරගත් බව වැටලීම සිදුකරන ලද තිස්සමහාරාම පොලිස් අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සඳහන් කළේය.

කම්මල වැටලීම සිදුකරන අවස්ථාවේදී ගිනි අවියක් නිෂ්පාදනය කරමින් සිටි බවත් ගිනි අවිය සඳහා යොදාගනු ලබන යාන්ත්‍රික කොටස් කිහිපයක් කම්හල ආසආසන්නයේ වලදා තිබියදී සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කළේය.