
(අංජුල මහික වීරරත්න)
ජාතික තරුණ සේවා සභාව විසින් සංවිධානය කරන 45 වන ජාතික යෞවන සම්මාන උළෙල - 2026 ට සමගාමීව ජාතික තරගාවලි 8ක් යටතේ තරග අංශ 87ක් සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇතැයි තරුණ කටයුතු අමාත්‍යාංශය කියයි.
ශ්‍රී ලංකාවේ තරුණ පරපුරේ කලාත්මක, සාහිත්‍යමය, නිර්මාණාත්මක හා නවෝත්පාදන කුසලතා ජාතික මට්ටමින් හඳුනාගෙන ඇගයීමට ලක් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා ප්‍රකාශ කළේය. ජාතික තරුණ සේවා සභාවේ මහරගම ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ දී අද (26) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කීය.
මෙවර තරගාවලිය සඳහා වයස අවුරුදු 15 සිට 29 දක්වා වූ ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ට අයදුම් කළ හැකි බවත්, රට පුරා සිටින දක්ෂතා ඇති තරුණ පිරිසට තම හැකියාවන් ප්‍රදර්ශනය කර ජාතික මට්ටමේ ඇගයීමක් ලබා ගැනීමට මෙය සුවිශේෂී අවස්ථාවක් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙවර තරගාවලිය යටතේ "Melody" සංගීත තරගාවලිය, "Steps" නර්තන තරගාවලිය, "Young Voices" කථික හා නිවේදන තරගාවලිය, "NovaMind" කෘතිම බුද්ධි (AI) නිර්මාණ තරගාවලිය, "Inkspire" සාහිත්‍ය තරගාවලිය, "Shutter Stories" ඡායාරූප තරගාවලිය, "Dream Canvas" චිත්‍ර තරගාවලිය සහ "Beyond Limits" ආබාධ සහිත තරුණ තරුණියන් සඳහා වූ විශේෂ තරගාවලිය ඇතුළත් වන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. භාෂා තුනෙන්ම (සිංහල, දමිළ සහ ඉංග්‍රීසී) තරග අංශ සඳහා ඉදිරිපත් විය හැකි බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීවේ ය.
මෙහිදී අදහස් දක්වමින් ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ සුපුන් විජේරත්න මහතා කීවේ මෙම තරගාවලියෙනි ගායනය, වාදනය, නර්තනය, කථික හා නිවේදන, කෘත්‍රිම බුද්ධිය මත පදනම් වූ නිර්මාණ, සාහිත්‍ය නිර්මාණ, ඡායාරූපකරණය, චිත්‍ර කලාව සහ ආබාධ සහිත තරුණ තරුණියන්ගේ නිර්මාණාත්මක දක්ෂතා ඇතුළුව විවිධ අංශ රැසක් ආවරණය වන අතර, රටේ විවිධ දක්ෂතා ඇති තරුණ තරුණියන්ට තම හැකියාවන් ජාතික වේදිකාවක් මත ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා දෙනු ලබන බවයි.
මෙවර සම්මාන උළෙල සංවර්ධනය කර ඇති බවත්, ඒ අනුව ප්‍රථම වරට දිස්ත්‍රික් සම්මාන උළෙල 25ක් ක්‍රියාත්මක කරන අතර, ප්‍රාදේශීය, දිස්ත්‍රික් සහ ජාතික මට්ටමේ ජයග්‍රාහකයින් සඳහා සංචිත පදනම් කරගත් පුහුණු වැඩසටහන් ද ක්‍රියාත්මක කෙරෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය. අයදුම්කරුවන් 2026 ජූලි 30 දිනට පෙර nysc.lk/youthawards වෙබ් අඩවියට පිවිස මාර්ගගත අයදුම්පත සම්පූර්ණ කළ යුතුය.
ලියාපදිංචිය අවසන් වූ පසු ලැබෙන ලියාපදිංචි විස්තර සහිත පෝරමය තරග පැවැත්වෙන ස්ථාන වෙත රැගෙන පැමිණිය යුතු අතර, නිර්මාණ භාරදිය යුතු තරග සඳහා එම පෝරමය සමඟ නිර්මාණ 2026 සැප්තැම්බර් 10 දිනට පෙර ජාතික තරුණ සේවා සභාව, මහරගම ප්‍රධාන කාර්යාලයේ සෞන්දර්ය කුසලතා අංශයට බාරදිය යුතුය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd