(සුමිත් පොතුපිටිය)

ඩෙංගු අලුත් වෛරසයක් හදුනාගෙන ඇතැයි අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවැසුවාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව සදහන් කලේවාද්දුව පොහද්දරමුල්ල මහීඝර්ජනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍යයේ කොත නිරාවරණය කිරීමේ පිංකමට සහභාගීවීමට පෙර ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි සමග පැවති කෙටි පිළිසදරකදීය.

එහිදී අග්‍රාමාත්‍යවරිය මෙසේ ද පැවැසුවාය.

අලුත් වෛරසයක් එක්ක බෝවීම වැඩි වුණත් අපි මෙහෙයුමක් කළා. දැන් යම් අඩුවීමක් තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු උවදුර වැඩි වශයෙන් බලපාල තියෙනවා .  මහරගම සහ කොළඹ නගරාසන්න ප්‍රදේශයේ වැඩි වශයෙන් ව්‍යාප්තියක් තියෙනවා .

ගෙවල්වලට වඩා, පොදු ස්ථානවල, විශේෂයෙන් පාසල්වල  කාර්යාල පරිශ්‍රවල සහ හිස් ඉඩම් වලත් හදුනාගෙන තියෙනවා. නමුත් ඒ හිස් ඉඩම් වල මොනව හරි කරන්න ගියාම අයිති කාරයන් එනවා. ඉදිකිරීම් සිදුකර ඒවා නතරවී ඇති ස්ථාන වලත් ඩෙංගු ව්‍යාපෘතිය හදුනාගෙන තියෙනවා .

පාසල් වල ඩෙංගු ව්‍යාපෘතිය නතර කරන්න අවශ්‍ය තරම් චක්‍රලේඛ නිකුත් කරල තියෙනවා. වැදගත් වන්නේ එම චක්‍රලේඛ ක්‍රියාත්මක කිරීමයි. විදුහල්පති වරුන්ට ඒ ගැන ලොකු වගකීමක් තියෙනවා .

මෙහිදී අදහස් දක්වමින් ආචාර්ය ඕමල්පේ සෝභිත නාහිමි සදහන් කළේ, ලංකාවේ නීති කඩන බොහෝ දෙනා වෙනත් රටවලට ගිය පසු එහි නීතියට තදින් අනුගත වන බවත් සිංගප්පූරුවේ මෙන් ලංකාවේද නීතිය ක්‍රියාත්මක විය යුතු බවත්ය . පාසල්වල විදුහල්පතිවරුන් වගකීම දැරිය යුතු බවත් එහිදි නාහිමියන් වැඩිදුරටත් සදහන් කලේය.