(ඉන්දිකා රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
විදේශ රටවල සිටින ඩයස්පෝරා සාමාජිකයන්ගෙන් ලැබෙන මුදල් ආවා කල්ලි සාමාජිකයන් අතර බෙදාහැරීමේ යෙදී සිටි එම කල්ලියේ නායකයකු චුන්නාකම්, උඩුවිල් ප්‍රදේශයේදී යාපනය විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් පෙරේදා (13) රාත්‍රියේ අත්අඩංගුවට ගන්නා ලදැයි චුන්නාකම් පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සිවලිංගම් ශිවකුමාර් (29) හෙවත් ශිවා නමැත්තෙකි.
සැකකරු කඩුවක් රැගෙන යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවත් ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී තවත් කඩුවක් සොයාගත් බවත් පොලිසිය කියයි.
මොහු සන්තකයේ නවීන ජංගම දුරකථනයක් තිබී ඇති අතර එහි ආවා කල්ලිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අඩංගු වී තිබිණි යැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඩයස්පෝරා සාමාජිකයන් ආවා කල්ලිය වෙත එවන විදේශ මුදල් මොහු එම කල්ලියේ සාමාජිකයන් අතර බෙදාහරින බවද හෙළිවී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
මොහු මීට පෙර අවස්ථා කිහිපයකදීම අත්අඩංගුවට පත්ව අධිකරණයෙන් ඇප මත නිදහස්ව සිටින පුද්ගලයෙකු බවද පොලිස් ආරංචි මාර්ග කියයි.
මේ අතර ආවා කල්ලි සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ඊයේ පස්වරු 4.00 සිට යාපනය අර්ධද්වීපය තුළ ක්‍රියාත්මක කර ඇත.
උතුරු පළාත් පොලිස් නිලධාරීන් 500 දෙනෙකු පමණ මෙම මෙහෙයුමට සම්බන්ධ කර ඇති බවත් ආවා කල්ලි සාමාජිකයන් වැඩි වශයෙන් ගැවසෙන දුන්නාකම්, මනිපායි, කෝපායි සහ යාපනය ප්‍රදේශවල මාර්ග බාධක 40ක් පමණ යොදා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇතිබවත් පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණ යටතේ මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩයස්පෝරාවේ සල්ලි ආවා සාමාජිකයන් අතර බෙදනවා කියන්නේ, ආවා කල්ලියට පැහැදිලිවම එල් ටී ටී ඊ එකේ සම්බන්ධයක් තියෙනවා කියන එකනේ. එහෙමනම් තත්වය භයානකයි. ආවා කල්ලිය මර්ධනය වෙන පාටකුත් නෑ. මර්ධනය කරන්න බලධාරීන්ට වුවමනාවක් තියෙන බවක් පේන්නෙත් නෑ.