ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි, ඇමෙරිකන් ගුවන් හමුදා මේ වනවිට වෙනිසියුලාවේ කැරකස් අගනුවරට ප්‍රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වේ.

මේ වනවිට, ඇමෙරිකාවේ උදහසට ලක් වී සිටින, වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ, රට තුළ ජාතික හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇත.

ඇමෙරිකන් ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා, කැරකස් අගනුවර හමුදා ඉලක්කවලට පහර දුන් බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර ඇත.

පසුගිය මාස කීපයේ පටන් ට්‍රම්ප් වෙනිසියුලා ජනාධිපති මදුරෝටත්, ඔහුගේ රජයටත් අනතුරු අගවා තිබුණි. ඒ, වෙනිසියුලා කලාපීය වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහාය දක්වන බවට චෝදනා නගමිනි.

වෙනිසියුලාවට ඔබ්බෙන් මුහුදේ යාත්‍රාවලට ඇමෙරිකන් නාවික හමුදාය ප්‍රහාර එල්ල කළේත්, ඇමෙරිකන් සම්බාධක මැද වෙනිසියුලාවෙන් තෙල් රැගෙන යන්න ආ තෙල් නෞකා සිය ග්‍රහණයට ගැනීමටත් ඇමෙරිකාව කටයුතු කළේය.

විදෙස් දේශපාලන විශ්ලේෂකයන් දිගින් දිගටම අනතුරු අඟවා තිබුණේ කොයි මොහොතේ හෝ ඇමෙරිකාවෙන් වෙනිසියුලාවට ප්‍රහාරයක් එල්ල වනු ඇති බවය.