ත්‍රස්තවාදී නායකයකු වන එමිල් කාන්තන් සමග කටයුතු කරමින් ඔහුට මුදල් ලබාදී රජයේ මුදල් අපහරණය, සාපරාධී විශ්වාසය කඩකිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් රාඩා ආයතනයේ හිටපු සභාපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් ප්‍රබල කරුණු විමර්ශනවලින් අනාවරණය කරගෙන ඇති බව නීතිපති  වෙනුවෙන් පෙනිසිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අද (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව වරෙන්තුවකින් තොරව අලස්  අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් තිඛෙන බව යසන්ත කෝදාගොඩ මහතා  කීය.

තමන්  අත්අඩංගුවට ගැනීමෙන් වළකින්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්  ගොනු කළ පෙත්සම අද (27) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ හෙතෙම මේ බව කීවේය.

 මෙම විමර්ශන අවස්ථා හා දිවුරුම් ප්‍රකාශ ඇතුළත් වාර්තාවක් ලබන ජුනි මස හතර වැනිදා හෝ ඊට පෙර ගොනු කරන බව කෝදාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

 එම වාර්තා අධ්‍යයනය කිරීමෙන්  අලස්ගේ ගොනුකළ පෙත්සම සම්බන්ධයෙන් වඩා හොඳ තීන්දුවක් ලබාදිය හැකි වනු ඇති බව අගවිනිසුරු කේ. › පවන් මහතා මෙහිදි කියා සිටියේය.

අතිරේක සොලිසිටර් ජනරාල්  කියා සිටියේ ඔහු අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් කරුණු ඉකුත් අප්‍රේල් නව වැනිදා තහවුරු කරගෙන තිබූ බවයි. ‘එම අත්අඩංගුවට ගැනීම දැනටමත් පමා වී තිබෙනවා.‘

ජුනි 11 වැනි දා වන තුරු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් අත්අඩංගුවට නොගන්නා බව නීතිපති අද (27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

තමා අත්අඩංගුවට ගැනීමට වැලැක්වීමේ නියෝගයක් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයට නිකුත් කරන්නැයි මන්ත්‍රීවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කැර ඇත.

සුනාමි අවතැන්වූවහනට උතුරු නැගෙනහිර නිවාස ඉදි කිරීමට පිහිටවූ රාඩා ආයතනයේ මුදල් වංචාවක් ගැන එහි හිටපු සභාපති අලස් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව පොලිසිය මීට පෙර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා තිබිණි.

 පරීක්ෂණවලට සහභාගිවීමට ඕනෑම අවස්ථාවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  ඉදිරියේ  පෙනී සිටීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා එකඟතාවය  පල කරන බව  ඔහු ගේ නීතිඥ වරයා  අද(27) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය .

ඒ අනුව බ්‍රහස්පතින්දා (28)  ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  හමුවේ  පෙනී සිටින බව ටිරාන් අලස් මහතා වෙනුවෙන්  පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ පැවසීය.

නීතිමය පදනමක් නොමැතිව තමා  අත්අඩංගුවට සූදාමක් පවතින බවත් ,එලෙස අත්අඩංගුවට  ගැනීමෙන් වළක්වන අතුරු නියෝග නිකුත්  කරන ලෙසත් ඉල්ලා  අලස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම අද (27) කැඳැවිණි.

පෙත්සම සලකා බැලීම   ජූනි 11 ට කල් දැමූ ශ්‍රේෂ්ඨාධිකරණය , එතෙක්   දැනට පවතින තත්ත්වය එලෙසම පවත්වා ගැනීමටත් , ටිරාන්  අලස් මහතා අත්අඩංගුවට  නොගැනීමට වග බලා ගැනීමත් නීතිපතිවරයා  මෙහිදි  එකඟතාවය  පළ කළේය.

පොලිස්පති,පොලිස් විශේෂ විමර්ශන  ඒකකයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි  මෙවන් සිල්වා,එහි පොලිස් ස්ථානාධිපති,පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නීතිපතිවරයා මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.

හිටපු ජනාධිපතිවරයා ගේ සමීපතමයෙකු වන තමාට එරෙහිව දේශපාලන දඩයමක් ක්‍රියාත්මක වන බවත්.අමාත්‍ය පාඨලි චම්පික රණවක ගේ උපදෙස් මත තමා  පොලිසිය අත්අඩංගුවට ගැනීමට සුදානම් වන බවද පෙත්සමේ සදහන්වේ.හෙළ උරුමයෙන් උදය ගම්මන්පිල ඉවත්වීම පදනම් කර ගෙන එම අමාත්‍යවරයා තමන්ට එරෙහිව කටයුතු  කරන බවත්.,2005 දි රාඩා ආයතනයේ විධායක නොවන සභාපතිවරයා ලෙස කටයුතු කල තමන් ඉන් කිසිදු ලාභ ප්‍රයොජන නොගත් බවද පෙත්සම්කරු කියා සිටි.

IMG_0825---Copy IMG_0830---Copy IMG_0848 IMG_0855

වීඩියෝ හා ඡායාරූප - ලහිරු හර්ෂණ