(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ආරම්භ කරන විවිධ ව්‍යාපෘති අවසානය තෙක් අධීක්ෂණය කිරීම සඳහා වගකිවයුතු නිලධාරියෙකු  නොමැතිවීම  හේතුවෙන් ඉන්  අපේක්ෂිත සේවය නිසි ආකාරයෙන්  ගැනීමට නොහැකි වී ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) තොරතුරැ  අනාවරණය විය.

මේ පිළිබඳ කරුණු සාකච්ඡා වූයේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ 2022 හා 2023 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට  පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතාගේ  ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී   රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දැක්වූ  කාරක සභා සභාපතිවරයා, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය  ආරම්භ කර ඇති ව්‍යාපෘති සැලසුම් කළ කාලයට අවසන් නොකිරීම හා අවසන් කිරීමට සැලසුම් කළ කාලයට වඩා දෙගුණයකට වඩා කාලයක් ගත වීම පිළිබඳව සිය නොසතුට පළ කළේය.

කෙසේ වෙතත් මණ්ඩලය  ආරම්භ කර ඇති ව්‍යාපෘති අධීක්ෂණය සඳහා වගකිව යුතු පිරිස් නොමැතිකම හේතුවෙන් මතුව ඇති ගැටලු නිරාකරණය සඳහා වෙනම යාන්ත්‍රණයක් සැකසීමට සැලසුම් කර ඇති බව නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු එල්. කුමුදු ලාල් බෝගහවත්ත මහතා පැවසීය.

ඒ අනුව ජලාපවහන මණ්ඩලය  ආරම්භ කරන ව්‍යාපෘති අධීක්ෂණය සඳහා වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත්, ඒ ඔස්සේ ව්‍යාපෘතියක් ආරම්භයේ සිට අවසානය දක්වා එම ව්‍යාපෘතිවල  සාර්ථකත්වය, ගුණාත්මකභාවය ඇතුළු සියලු කටයුතු පරීක්ෂා කිරීම හා අධීක්ෂණය කිරීම සිදු කරන බවත් අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත්  අවධාරණය කළේය.

එමෙන්ම ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අභ්‍යන්තර විගණන අංශයේ අනුමත කාර්යමණ්ඩලය 126 ක් වුවද මේ වනවිට ඉන් තනතුරු 19ක පුරප්පාඩු පැවතීම පිළිබඳව කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී.

අභ්‍යන්තර විගණනය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නොවන්නේ නම් ආයතනයේ ගැටලුකාරී තත්වයන් වර්ධනය වන බව කාරක සභා සභාපතිවරයා මෙහිදී පෙන්වා  දුන්නේය

අදාළ පුරප්පාඩු සම්පූර්ණ කරමින් අභ්‍යන්තර විගණනය ශක්තිමත් කර විෂමාචාර ක්‍රියාවන් සිදු වීම වැළැක්වීමට කටයුතු කරන ලෙස කෝප් කාරක සභාව  ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට උපදෙස්  දී අැත

එමෙන්ම විගණනය   පෙන්වා දී ඇති කරුණු සාකච්ඡා කරමින්, ආයතනයේ විනය පරීක්ෂණ නිසි කාල වකවානුවලට  නොකිරීම පිළිබඳවද කාරක සභාව සිය අසතුට පළ කළේය.