( ටී.කේ.ජී.කපිල )

රුපියල් අසූ තුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ , විදේශීය ගුවන් මගීන් තිදෙනකු අද (03) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් එක්ව අත් අඩංගුවට ගෙන තිබේ .

ඔවුන් අවුරුදු 35 , 38 සහ 50 යන වයස් වල පසුවන චීන ජාතික ව්‍යාපාරිකයන් පිරිසකි .

ඔවුන් අද  අලුයම 02.45 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 319 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 06 ක් තුළ , චීනයේ නිෂ්පාදිත දුම්වැටි 55,800 ක් අඩංගු , දුම්වැටි කාටූන් 279 ක් සගවා ගෙන තිබුණි .