(රෝෂන් තුෂාර)

ඌව පළාත්  ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී රජයට  පාඩුවක් කලේ යැයි මහාධිකරණය හමුවේ අධි චෝදනා ලැබ සිටින  පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සැකකරුගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරනවාද? නැද්ද? යන්න පිළිබඳ  නියෝගය මහා අධිකරණය ඊට ලබාදෙන නියෝගය පරිදි නිකුත් කරන බව   කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම  මහතා අද (12) දන්වා සිටියේය.

සැකකරුට මහාධිකරණය මගින් අධි චෝදනා ගොනුකොට ඇති බැවින් විදෙස් ගමන් තහනමය ඉවත් කර ගැනීමට මහාධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරන ලෙසත්, මහාධිකරණ නියෝගය ලබාදීමෙන් පසුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය ප්‍රකාශයට පත් කරන බවත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පැවසීය.

මහේස්ත්‍රාත් අධිකරණයේ තැන්පත් කර ඇති  සැකකරුගේ විදෙස් ගමන් බලපත්‍රය මුදා හැරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

චීනයේ සංචාරයක නිරත වීම සඳහා ඇප කොන්දේසියක් ලෙස පනවා ඇති  විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස චාමර සම්පත් මහතා වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.

සැකකරු වෙනුවෙන් නීතිඥ නෙරන්ජන් ඊරියගොල්ල හා නීතිඥ අජිත් වික්‍රමසිංහ පෙනී සිටියහ.

නීතිඥවරුන් කරුණු දක්වමින් කියා සිටියේ චීන සංචාරය සඳහා වීසා සකසා ගැනීමට අධිකරණයට භාරදී ඇති  විදෙස් ගමන්  බලපත්‍රය කඩිනමින් ලබාගත යුතු බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ( 2016 පෙබරවාරි 29 දින) රාජ්‍ය බැංකුවක පවත්වාගෙන ගිය පළාත් සභාවේ  ස්ථාවර තැන්පතු ගිණුම් 6ක් කල්පිරීමට පෙර  ඉවත්කර රජයට රුපියල් ලක්ෂ 173ක  පාඩු  සිදු කිරීම සම්බන්ධයෙන් පැවරුන් අඩු තුනෙහි ඇප ලබාදීමේදී පැනවූ විදෙස් ගමන් තහනම් ඇප කොන්දේසිය මෙසේ තාවකාලිකව ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විදෙස් ගමන් බලපත්‍රයේ මුදා හරින ලෙසට නියෝග කළ අතර වැඩිදුර කරුණු විමසීම ලබන 19 දිනට කල් තැබීය.