( තිළිණි ද සිල්වා )
කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් තමාවත් , තම අතදරුවා සහ ස්වාමියාගේ මව යන තිදෙනාම බත්තරමුල්ල ප්‍රදේශයට බලහත්කාරයෙන් රැගෙන යාම නීතිවිරෝධී බවත් , එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ රියැදුරු වන දිලූම් තුසිත කුමාර නැමැත්තාගේ බිරිඳ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (24) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.
ගාල්ල, ඉමදූව ප්‍රදේශයේ පදිංචි ඉරේෂා ලක්මාලි නමැත්තිය විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආරක්ෂක ලේකම්වරයා, වැඩබලන පොලිස්පති, ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයින්, කොළඹ අපරාධ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, එහි ස්ථානාධිපතිවරයා ඇතුළු 15 දෙනෙකු නම් කරනු ලැබ සිටිති
පෙත්සම්කාරිය කියාසිටින්නේ ඉකුත් 10 වනදා රාත්‍රී තම නිවසට කඩාවැදුණු කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් තමාවත් තම මාස තුනක් වයසැති අතදරුවා සහ ස්වාමියාගේ මව යන තිදෙනාම බත්තරමුල්ල ප්‍රදේශයට බලහත්කාරයෙන් රැගෙන ගිය බවය.
කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් විසින් තමන්ව අත්අඩංගුවට ගෙන මේ ආකාරයෙන් රැගෙන ගොස් රඳවා ගැනීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර තිබෙන මූලික අයිතීන් උල්ලංඝණය වී ඇති බවයි ඇය පෙන්වා දෙන්නීය.
එබැවින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු වාර්තාවට අදාල ලේඛන ගෙන්වා පරීක්ෂණයක් පවත්වා සිය මූලික අයිතීන් උල්ලංඝණය වූ බවට නියෝගයක් ලබාදෙන ලෙසත් , එලෙස රැගෙන යාමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ප්‍රකාශ කරන්නැයිද පෙත්සම්කාරිය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අබුද්ධස්ස කාලේ. ඇමති හොරු නිදහස් අහක යන මනුස්සයෝ හිරේ
ඉතාම හොඳයි. ඒ රියදුරු අල්ලගෙන නඩු පවරනවා හෝ අත්අඩංගුවට ගන්නවා හෝ ඕන නීත්‍යානුකූල දෙයක් කළාට අපේ ප්‍රශ්නයක් නෑ. නමුත් අද කාලේ පොලිසියත් ආදි කාලේ කළා වගේ ගෙවල්වල ඉන්න අත දරුවයි, වයසක ගැහැණුයි ඇදගෙන ගිහින් ගාල් කරන එකනම් කැතවැඩක්. මේ කාන්තාවගේ පෙත්සම ජයග්‍රහණය කෙරේවා කියලා මම පතනවා.
පේනවනේ අපේ පොලිසිය කොච්චර බුද්ධිමත්ද කියලා. හදිස්සියේ ගිහින් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ ඩ්‍රයිවර්ගේ පවුලේ අයව. ඔය කට්ටියත් අහල පහල වෙච්ච දෙයකට ගෙදරට ඇවිත් අත්අඩංගුවට ගන්න ඕන කීවොත් පුදුම වෙන්න එපා.
දැන් අධිකරනයේ ස්වාධීනත්වය උරගා බැලිය හැකි කදිම අවස්තාවක්.
මෙවැනි අකටයුතු හෙලාදකින්න ඕනේ... නඩු කාරයින්ට මේවා පේන්නේ නැද්ද?
පක්ෂ දේශපාලනයකින් තොරව මේ පෙත්සමට රටක් වශයෙන් සහය දියයුතුයි. මෙහෙම නිකරුනේ අදාල නැති අයට කරදර කරන්න පොලිසියට කිසිම අයිතියක් නැහැ. ගෙදරට පැමිණ ප්‍රශ්න කළහැකි වුවත් මෙසේ චෝදනාවක්, වරදක් නැතුව කෙනෙක්ට පොලිසියෙන් කරදර කරනවට උපරිම දඬුවම් දිය යුතුයි. පොලිසිය හිතන් ඉන්නේ තමන්ට ඕනෑදෙයක් කළ හැකියි කියලයි. හැබැයි ඔක්කොම පාට් දාන්නේ අහිංසක, දුප්පත් මිනිස්සුන්ටයි විපක්ෂේ ලොක්කන්ටයි විතරයි. මොන ආණ්ඩුව බලයට ආවත් බලයේ ඉන්න කිසි කෙනෙක්ට මොනවරද කළත් කිසිම අවුලක් නැහැ.
බැලූ බැල්මට ඒක අසාධාරණයි. පවුලේ කෙනෙක් කළ වරදට පවුලේ අනික් අය අපහසුවට පත් කිරීම නීතියේ ඉඩ තිබෙනවාද? ජනාධිපතිතුමනි, ඔබතුමාගේ රජය අපහසුවට පත් කිරීමට මොවුන් මෙවැනි දේවල් කරනවා වෙන්න පුළුවනි. පරිස්සම් වෙන්න. මොවුන් කරන වැරදි වැටෙන්නේ ඔබේ ගිණුමට.
19 ත් අහෝසි කරගෙන මේ යන්න හදන්නේ මොන වගේ ගමනක් ද කියල තේරෙනකොට පරක්කු වැඩි වෙලා තියේවි. වහලුන් සහ ජඩ මාධ්‍ය මේවාට වග කිව යුතුයි.