චීනයේ ව්‍යාප්ත වන ‘ඔමික්‍රෝන් බී.එෆ්.7’ නමැති ‘කොවිඞ් 19’ නව උප ප්‍රභේදය ලෝකයට තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර තිබේ.

මේ වනවිට චීනයේ ‘කොවිඞ් 19’ ව්‍යාප්තිය දරුණු බවත් දෛනිකව ‘කොවිඞ් 19’ ආසාදිතයන් 50,000 කට ආසන්න පිරිසක් වාර්තා වන බවත් පැවැසෙයි.

චීනයේ ‘කොවිඞ් 19’ ව්‍යාප්තිය දරුණු වී ඇත්තේ, එරට සෞඛ්‍ය අංශ පනවා තිබූ සෞඛ්‍ය සීමා ලිහිල්කිරීමට රජය පියවර ගැනීමත් සමඟය. සෞඛ්‍ය සීමා ලිහිල් කිරීමට රජයට සිදුවූයේ එම සීමා සම්බන්ධයෙන් රජයට ජනතා විරෝධයක් එල්ල වුණු බැවිනි.

චීනයේ ව්‍යාප්ත වන ‘ඔමික්‍රෝන් බී.එෆ්.7’ උප ප්‍රභේදය මීට පෙර ඇමෙරිකාවෙන් මෙන්ම යුරෝපා රටවලින් ද වාර්තා වී ඇත. ඒ පසුගිය අගෝස්තු මාසයේය. කෙසේ නමුත් සාර්ථක එන්නත්කරණය හමුවේ ‘ඔමික්‍රෝන් බී.එෆ්.7’ අඩපණ විය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, චීනයේ ‘කොවිඞ් 19’ ව්‍යාප්තිය දරුණු වී ඇත්තේ චීන වැසියන් නිසි එන්නත්කරණයකට ලක් නොවුණු බැවිනි. චීන වැසියන්ට ලබා දී ඇත්තේ චීනයේ නිපදවූ ප්‍රතිශක්තිකරණ එන්නත් පමණි. බටහිර රටවල එන්නත් චීනය ප්‍රතික්ෂේප කර තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඞ්හොම් ගෙබ්‍රියේසිස් චීන රජයට සහ සෞඛ්‍ය අමත්‍යාංශයට පැහැදිලි කර ඇත්තේ, සාර්ථක එන්නත්කරණයක් ක්‍රියාවට නංවා වයිරස ව්‍යාප්තිය පාලනය කර ගන්නා ලෙසය.

(රොයිටර්)