(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි)

පිස්තෝල ගිනි අවියක් සහ  උණ්ඩ දහයක් සහිත මැගසීනයක් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යටියන්තොට පොලිස් ස්ථානයේ රථවාහන අංශ ස්ථානාධිපති අත්අඩංගුවට ගත් බව සීතාවක පුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ  උප පොලිස් පරීක්ෂකවරයෙකි.

සැකකාර ස්ථානාධිපතිවරයා පොලිස් කොස්තාපල්වරයකු සමග ඉකුත් 26 වෙනිදින  පැය 0600 සිට 1800 දක්වාම පොලිසි යතුරු පැදියක දිවා යතුරුපැදි සංචාර රාජකාරියේ යෙදී සිට ඇති අතර එදින පස්වරු 05.45 ට පමණ රථ වාහන තොරතුරු සටහන් පොතේ පැමිණීමේ සටහන් යොදා ඇතත් ඔහු රැගෙන ගිය 14931 දරන පිස්තෝල ගිනි අවිය එම උණ්ඩ දහයක් හා මැගසින් එක උපසේවයට භාරදී නොමැති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් සීතාවක කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් විමර්ශනයක් සිදුකර නිලධාරියාගේ ප්‍රකාශ සටහන් කිරීමේදී ඔහු විසින් භාරයට කන්නා ලද ගිනි අවිය රාජකාරී සඳහා රැගෙන නොගිය බවත් මේස ලාච්චුවේ දමා තිබියදී අස්ථානගත වී ඇති බවට ප්‍රකාශයක් ලබා දී ඇතැයි පොලිසිය කියයි.