(සුජිත් හේවාජුලිගේ)

ගල් අඟුරු වංචාව පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරන විගණන වාර්තාව පාර්ලිමේන්තුව මගින්  නීතිපතිවරයාට වහාම බාර දෙන්නැයි  සමගි ජන බලවේගය ඉල්ලීමක් කරන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ  උප සභාපති හිටපු අමාත්‍ය නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ආණ්ඩුව එසේ කටයුතු නොකර විවිධ කොමිෂන් සභා පත්කරන්නේ  සැබෑ ප්‍රශ්නයෙන්  ගැලවීමට බවද ඔහු  චෝදනා කළේය.

පළාත්  සභා මැතිවරණය ඉතා ඉක්මනින් පවත්වන ලෙස   ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන්නේ යැයි ද  එවිට විපක්ෂයේ සමගිය  පෙනේවි යැයි ද  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ කොළඹ  ඔහුගේ  නිවසේ  අද(19) පෙරවරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය.

බාල ගල්අඟුරු සම්බන්ධයෙන් විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එකට වැඩ කළ බවත්  කිසිම මතභේදයක් නොතිබුණු බවත්  ඔහු කීවේය.

ඡන්දයක් පැමිණියහොත් විපක්ෂයේ සන්ධානයක් ගොඩනැගෙන බවත් ඒ සන්ධානයේ නායකත්වය අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන බවත්  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

මේ ආණ්ඩුව බලයට පැමිණියේ පොරොන්දු රාශියක් ලබා දී  බවත් ඒ පොරොන්දු කිසිවක් ඉටු කර නැති බව බවත් හිටපු අමාත්‍යවරයා කීය.

අයි.එම්.එෆ්  විවේචනය  කරපු අය ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බවද  ඔහු පැවසුවේ ය.

එන්.ඩී.බී බැංකුවේ මූල්‍ය  අක්‍රමිකතාව සම්බන්ධයෙන් මහ බැංකුව වගකිවයුතු  බවත්  මහ බැංකුව එම බැංකුවේ කටයුතු නිසියාතාරව  අධීක්ෂණය කර නැති බවත් හෙතෙම පැවසුවේ ය .

2022 දී  රට බංකොල්ලොත් වනවිට මහ බැංකුව උඩ බලාගෙන සිටි බව ඔහු කීවේය.