ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ සියලුම තැන්පත්කරුවන්ට ඔවුන්ගේ තැන්පතු මුදලින් සියයට 41ක් ආපසු ලබා දීමට රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

ඒ සඳහා වන කැබිනට් අනුමැතිය දැනටමත් ලැබී ඇති අතර රුපියල් බිලියන අටයි දශම පහක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් වෙන් කර ඇතැයි ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණයට දැන්වීය.

රුපියල් දස ලක්ෂයට අඩු තැන්පත් කරුවනට මාසයක් ඇතුළත ද, රුපියල් දස ලක්ෂයේ සිට විසි ලක්ෂය දක්වා තැන්පත් කරුවනට මාස දෙකක් ඇතුළත ද, විසි ලක්ෂයට වැඩි තැන්පත් කරුවනට අවුරුද්දක් ඇතුළත ද එම මුදල් ගෙවීමට වගඋත්තරකරුවෝ එකඟවූහ.