
(අංජුල මහික වීරරත්න)
කාලගුණ පුරෝකථන දත්ත විශ්ලේෂණය කරමින් ඒවායින් ඇති විය හැකි සමාජ බලපෑම පිළිබඳව පුරෝකථන වාර්තාවක් සකස් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ආපදා කළමනාකරණය පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (16) පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව කීය.
කාලගුණික විපර්යාසයන්හි නවතම තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කරන ලදී.
පුරෝකතන වාර්තාවක් සකස් කිරීම මගින් පානීය ජලය, විදුලිබලය, ආහාර අවශ්‍යතා ආදිය කළමනාකරණය සහ වන සතුන්ට සිදුවිය හැකි බලපෑම් නිර්ණය කිරීමට අදාළව තිරසර පිළියම් යෙදීම සඳහා දැනට සකස් කර ඇති සැළසුම් යාවත්කාලීන් කර ගැනීමට හැකි වන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
අදාළ පුරෝකථන වාර්තාව සකස් කිරීමෙන් අනතුරුව ක්ෂේත්‍ර නිලධාරීන් කැඳවා මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සම්පත් කොටුවේගෙදර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ඒ.එල්.කේ. විජේමාන්නගේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ගාමිණී ජයතිස්ස යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd