(සුනිල් එස්.තන්ත්‍රිආරච්චි )

කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේදී ඉකුත් 28 වැනිදා ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් බව කියන පුද්ගලයකු කළුතර දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් වැලිපැන්න වලගෙදර ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇත .

හම්බන්තොට , සාම උද්‍යානය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයකු මෙසේ අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුට එරෙහිව මතුගම , කළුතර , තිස්සමහාරාමය , වලස්මුල්ල සහ මොරවක යන මහේස්ත්‍රාත් අධිකරණවලින් වරෙන්තු 12 ක් ඇති බව පොලිසිය කියයි.

ඉකුත් මැයි 28 වැනිදා හජ්ජි උත්සව දිනයේ පල්ලියට ගොස් එමින් සිටියදී මෝටර් රථයකින් පැමිණි අයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් මිය ගියේ කළුතර ,මරික්කාර් වීදියේ පදිංචි දෙදරු පියකුවූ පකීර් මොහොමඩ් සකීර් නම්වූ අයෙකි .

මෙම ඝාතනයට ආධාර  අනුබල දෙන ලදැයි අත් අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබූ ජංගම දුරකථනයද පොලිසිය භාරයට ගෙන තිබේ .