සීගිරිය අභය භූමියේ ගල්ලි ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක නිධානයක් තුළ කාශ්‍යප රජුගේ ඔටුන්න සොයා ගෙන එය ලබාගැනීමට පැමිණි පුද්ගලයින් 7 දෙනෙක් සැකපිට අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔවුන් පැමිණි මෝටර් රථයක් හා ත්‍රී රෝද රථයක්ද පොලිසිය භාරයට ගෙන ඇත.

මෙම පුද්ගලයන් වත්තල, ගල්ගමුව, දඹුල්ල ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

ඔවුන් සතුව තිබී දුරදක්නයක් සහ මාලිමා යන්ත්‍රයක්ද සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි.

දඹුල්ල සහකාර පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර මහතාට ලැබුණු පෞද්ගලික තොරතුරක් මත විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා සැකකරුවන් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ගල් ලිඳ පුරාවිද්‍යාත්මක ස්ථානය සීගිරියට කිලෝ මීටර් එක හමාරක් නැගෙනහිරින් මහ වන මැද පිහිටි ස්ථානයකි. මීට පෙරදස එම ස්ථානයේ කාශ්‍යප රජුගේ කඩුව ඇතැයි කියමින් නිදන් හෑරූ පිරිසක් අත් අඩංගුවට ගනු ලැබූහ.