(ඉන්දිකා  රාමනායක)

බස්නාහිර බුද්ධි කොට්ඨාශයේ පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය අගයමින්  ලබා දී තිබූ පොලිස් ත්‍යාග මුදල් අතර ව්‍යාජ රුපියල් පන්දහසේ මුදල් නෝට්ටු දෙකක් තිබීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  ගල්කිස්ස කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියමයෙන්    විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම බුද්ධි අංශ කොස්තාපල්වරයා ගල්කිස්ස පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටින අතර ඔහු  2023  වසරේ කළ සේවය වෙනුවෙන් ඇගයීමකට ලක් කරමින්   පොලිස් දෙපාර්තමේන්තුවේ  පොලිස්   ත්‍යාග  මුදලින් ඔහුට රුපියල් 24,000 ක මුදලක් ඉකුත් (21);දින හිමිව ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය

මෙම මුදල ඉහත නිලධාරියාට ගෙවන ලෙසට මොරටුව මූලස්ථාන පොලිසියේ  ගෙවීම් අංශයේ රාජකාරි   කරමින් සිටි කොස්තාපල්වරයෙකු වෙත යොමු කර ඇති අතර,  එම කොස්තාපල්වරයා ඉකුත් 21 දින ඉහත මුදල වෙනත් කොස්තාපල්වරයෙකු අත බුද්ධි අංශ කොස්තාපල්වරයා වෙත ලබාදී ඇති බව එම නිලධාරියා සඳහන් කළේය. 

එම මුදල ලබාගත්  බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ කොස්තාපල්වරයා එය පරීක්ෂා කිරීමේදී  එහි ඇති රුපියල් 5000හේ මුදල් නෝට්ටු දෙකක් සම්බන්ධයෙන් ඇතිවූ සැකයක් මත බස්නාහිර බුද්ධි කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයා දැනුවත් කර ඇත.

එම පන්දාහේ නෝට්ටු දෙක සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී එය ව්‍යාජ නෝට්ටු දෙකක් බවට හෙළිවීමෙන් අනතුරුව  ගල්කිස්ස කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වෙත සිද්ධිය පැමිණිලි කර ඇත. එම පැමිණිල්ල ගල්කිස්ස කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියමයෙන් මොරටුව  මුලස්ථාන පොලිසිය විමර්ශන.ආරම්භ  කරඇත