(අංජුල මහික වීරරත්න)

උතුරේ තරුණ පිරිස කෘෂිකර්මයට යොමු වන්නේ නම් ඊට අවශ්‍ය ඉඩම් හා ආධාර දෙන්න සුදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

උතුරු පළාතේ ජනතාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහා කෘෂිකාර්මික කටයුතුවලට සහය වීමට තමන් සූදානම් බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය. 

එල්.ටී.ටී.ඊ සංවිධානයට සම්බන්ධව සිට පුනරුත්ථාපනය වූ තරුණ පිරිසක් සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී   අලුත්ගමගේ මහතා  බව සඳහන් කළේය. 

කෘෂිකාර්මික වශයෙන් මිරිස් වගාවට යොමු වීමට කැමති උතුරු පළාතේ තරුණ තරුණියන්ට ඒ සඳහා අවශ්‍ය ඉඩම් හා ආධාර ලබා දීමට කටයුතු කළ හැකි බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා හමුවු මේ පිරිස තමන් මුහුණ දී සිටින ආර්ථික, සමාජයීය  හා ජිවන ගැටළු සම්බන්ධයෙන් දිර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළහ. ඊට අදාළ සංදේශයක් ද අමාත්‍යවරයාට බාර දුන්නේය.

මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ කෘෂිකාර්මික ප්‍රදේශයක් වන උතුරු පළාතේ තරුණ පිරිස ඊට යොමු වන්නේ නම් ඔවුන්ට අක්කර භාගයක් බැගින් ඉඩම් ලබා දී ඊට අවශ්‍ය රෝපණ ද්‍රව්‍ය, පොහොර, ජලය හා ආරක්ෂිත ගෘහයන් ද කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් ලබා දීමට පියවර ගත හැකි බවය. 

මීට අමතරව උතුරු පළාතේ ඇතිවන කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ තනතුරු පුරප්පාඩු පිරවීමේදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ පුනරුත්ථාපනය වූ පවුල්වල සාමාජිකයන්ට සුදුසුකම් අනුව ප්‍රමුඛතාව ලබා දීමට අවධානය  යොමු කරන බව ද අමාත්‍යවරයා කීවේය.