( තිළිණි ද සිල්වා)

ශ්‍රී ලාංකික ගෘහසේවිකාවකට හිමිවිය යුතු මාසික වැටුප වසර 4ක් පුරා නොගෙවමින් සිටි කුවේට් ස්වාමිදුවක් එම කාන්තාවට වැටුප් වශයෙන් ලැබිය යුතු කුවේට ඩිනාර් 3300ක් (ශ්‍රී ලංකා රුපියල් 1634000) ගෙවීමට එකඟත්වය පළ කර ඇතැයි ඇරැබ් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

එම කුවේට් ජාතික ස්වාමිදුවට එරෙහිව කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් එරට නේවාසික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකින් පසු ඇය කුවේට් බලධාරීන් හමුවේ අදාළ මුදල ගෙවීමට එකඟත්වය පළ කර තිබෙන බව එම පත්‍රය කියයි.

තමන් සිය ස්වාමිදුව හමුවේ තමාට ශ්‍රී ලංකාවට යාමට අවශ්‍ය බවට දැනුම් දුන් බවත් එලෙස පැවසීමෙන් උරණ වූ කුවේට් ස්වාමිදුව තමන්ගේ වැටපු ලබා දීම වසර හතරක් තිස්සේ පැහැර හරිමින් සිටි බවද එම ශ්‍රී ලාංකික කාන්තාව ශ්‍රී ලංකා තානාපති නිලධාරීන් හමුවේ ප‍්‍රකාශ කර තිබේ.