(සුජිත් හේවාජුලිගේ )

නව හැටන් දුම්රිය ස්ථානය  ඉදිකිරීම ඇතුළු යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය  නාගරික සංවර්ධන අධිකාරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව අතර කඹ ඇදීමක් හේතු හේතුවෙන් වසර දෙකහමාරක් තිස්සේ නැවතීමෙන්  කෝටි හතළිහක පමණ පාඩුවක් සිදු වී ඇතැයි පරිසරයේ ස්වභාවික සම්පත් සහතිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී  තොරතුරු අනාවරණය විය.

මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට එම  මුදල් නාගරික සංවර්ධන අධිකාරියට ලබාදී තිබුණේ මහ භාණ්ඩාගාරයෙන් බව බව  කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම   මහතා පැවසීය.

මෙම ව්‍යාපෘතියට  අදාල කොටසක් පමණක් නිමකර ඇති බවත්  වසර දෙකහමාර කාලය පුරාම සිදුවී ඇත්තේ එම ව්‍යාපෘතිය විවෘත කිරීම
සම්බන්ධයෙන් ලිපි හුවමාරු කිරීම  පමණක් බවත් ඔහු සඳහන් කළේය.

මෙම ව්‍යාපෘතියට අදාළව එක ලිපියක් එහා මෙහා හුවමාරු වීමට පමණක් මාස පහක පමණ කාලයක් ගතවී තිබූ බවටද  කමිටුවේදී තොරතුරු හෙළි විය.

මේ අතර හැටන් දුම්රිය ස්ථානයේ අයිතිය සහ එහි භාණ්ඩ දුම්රිය දෙපාර්තමේන්තුවට අනිද්දා(13)  භාර දෙන ලෙස කමිටු සභාපති අජිත් මාන්නප්පෙරුම මහතා  නාගරික සංවර්ධන අධිකාරියට නිර්දේශ කර ඇත.

මේ අතර පිබිදෙන පොළොන්නරුව වැඩසටහන යටතේ 2021 වර්ෂයේදී ඉදි කෙරුණු පොළොන්නරුව හිඟුරක්ගොඩ දුම්රිය සේවක නිල නිවාසය මේ වනතුරු ප්‍රයෝජනයට ගෙන නැතැයි එම කමිටුව සඳහන් කරයි.