ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට රොකට් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි ඇසින් දුටුවන් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය අද (29) පස්වරුවේ වාර්තා කළේය.

කාබුල් අගනුවර හමීඩ් කර්සායි ගුවන් තොටුපොළ ආසන්නයේ පිපිරීමක් සිදුව ඇතැයි ඇෆ්ගන් මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මීට ටික වේලාවකට පෙර වාර්තා කර තිබිණි.

කාබුල් ගුවන් තොටුපොළ වයඹ දිග ප්‍රදේශයේ කිලෝමීටර පහක දුරින් මෙම පිපිරීම සිදුව ඇතැයි ද විදෙස් පුවත් සේවා වාර්තා කළේය.

කාබුල් අගනුවර ගුවන් තොටුපොළ ආසන්නයේ නිවසකට මෙම ප්‍රහාරය එල්ල වී ඇතැයි ද තවත් වාර්තාවක දැක්විණි.

කළු දුමාරයක් නැගෙන විඩියෝ පට කිහිපයක් ද ඇෆ්ගන් මාධ්‍ය සහ සමාජ මාධ්‍යවල පළ වූ බවත් විදෙස් වාර්තාවල දැක්විණි.

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර දැවැන්ත පිපිරීමක් සිදුව ඇතැයි ටෝලෝ පුවත් සේවය ද වාර්තා කර තිබිණි.

ටෝලෝ යනු ඇෆ්ගනිස්තානයේ විශාලතම රූපවාහිනි ප්‍රවෘත්ති ජාලය යි.

මෙම ප්‍රහාරයෙන් සිවිල් වැසියන්ට තුවාල වී හෝ මරණයට පත් වී ඇත් ද යන්න මෙතෙක් වාර්තා වී නැහැ.

කාබුල් නුවර දැවැන්ත පිපිරීමක් සිදුව ඇතැයි බී.බී.සී. ප්‍රවෘත්තියේ පාකිස්තාන සහ ඇෆ්ගනිස්තාන වාර්තාකරු වන සෙකුන්දාර් කෙර්මානි ද ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය අමාත්‍යාංශය උපුටා දක්වමින් වාර්තා කර ඇත.

කාබුල් නුවරට අයි.එස්.අයි.එල්. සංවිධානයේ ප්‍රහාරයක් එල්ල වීමේ දැඩි අවදානමක් තිබෙන බව අල්ජසීරා පුවත් සේවයේ චාර්ලට් බෙලිස් ඊයේ පස්වරුවේ වාර්තා කළා ය.  

තලේබාන් සංවිධානය පැවැත්වූ මාධ්‍යවේදී ඔවුන් වෙත මුල්ම ප්‍රශ්නය ඉදිරිපත් කළ මාධ්‍යවේදිනිය වන්නේ ද චාර්ලට් බෙලිස් ය.

තලේබාන් සංවිධානය මෙම අනතුරු ඇඟවීම කර ඇතැයි ද ඇය ඊයේ කීවා ය.

“අයි.එස්.අයි.එල්. සංවිධානයෙන් ප්‍රහාරයක් එල්ල වීමේ දැඩි අවදානමක් තිබෙන බව අපට දැනුම් දුන්නා” යැයි චාර්ලට් බෙලිස් උපුටා දක්වමින් අල්ජසීරා පුවත් සේවය වාර්තා කර තිබිණි.

“අද කොහෙත්ම ගුවන් තොටුපොළට යන්න එපා කියලා කිහිපදෙනෙක්ම කියනවා මට ඇහුණා” යැයි ද ඇය කීවා ය.

චාර්ලට් කාබුල් නුවර රැඳී සිටිමින් අල්ජසීරා පුවත් සේවයට ප්‍රවෘත්ති වාර්තා කරයි.

කාබුල් අගනුවර හමීඩ් කර්සායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ දකුණු ප්‍රවේශ ගේට්ටුවට තලේබාන් සංවිධානය වැඩි අවධානයක් යොමු කර ඇතැයි ද වාර්තා වේ.

ආයුධ සන්නද්ධ ආරක්ෂාව යොදවා ආරක්ෂා කරන ප්‍රධාන ප්‍රවේශය වන්නේ ද එයයි. එමෙන්ම ගුවන් තොටුපොළේ වයඹ දෙසට වැඩි අවධානයක් යොමු කර ඇතැයි චාර්ලට් බෙලිස් කීවා ය.

“තලේබාන් සංවිධානය අයි.එස්.අයි.එල්. සංවිධානය ප්‍රහාරයක් සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් ඉන්නේ. ඔවුන් ජනතාව ගුවන් තොටුපොළෙන් ඈත් කරන්න පියවර අරගෙන තිබෙනව. ඔවුන් ජනතාව විසුරුවා හරිමින් ඉන්නවා. ජනතාවට ගුවන් තොටුපොළ දෙසින් ඈත් කරන්න පියවර ගෙන තිබෙනවා” යැයි ද ඇය කීවා ය.

ඉදිරි පැය 24ත් 36ත් අතර කාලය තුළ ඇෆ්ගනිස්තානය තුළ විශේෂයෙන්ම කාබුල් අගනුවරට ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි ඇමෙරිකාව එක්සත් ජනපදය සෙනසුරාදා අනතුරු අඟවා තිබිණි.

ඇමෙරිකානු හමුදාවේ අණදෙන නිලධාරීන් ජනාධිපති ජෝ බයිඩන් හමු වී ඇෆ්ගනිස්තානයේ තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර එහිදි මෙම තොරතුරු ලබා දී තිබේ.

මේ අනුව ඇෆ්ගනිස්තානය තුළ තවත් ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඊයේ (28) පැවැසීය.

ඇෆ්ගන් භූමියේ තත්ත්වය “අතිශයින් භයානක” යැයි ද ඇමෙරිකානු ජනාධිපතිවරයා එහිදි කීවේය.

(රොයිටර්)