(අනීෂා මානගේ)
කථානායක ධූරය අද තරම් හැල්ලුවුණු යුගයක් ඉතිහාසයේදී දැක නොමැති බවද පාර්ලිමේන්තුව පිළිබඳව විශ්වාසයක් නොමැති වූ දිනයට රටේ දැවැන්ත කැරැළි නිර්මාණය වන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.
අමාත්‍යවරයා මෙසේ පැවසූයේ කසාගල පුරාණ රජමහා විහාරයේ පැවැති පූජෝත්වසයකට අද (16) සහභාගී වෙමිනි.
‘‘මම පාර්ලිමේන්තුවට ගියේ 1994 වර්ශයේදී. මම ඊට පෙර අහල තියෙනවා මොලමුරේ මැතිතුමාගෙන් ආරම්භ වූ පාර්ලිමේන්තුවේ කථානායක ධූරය අද තරම් හෑල්ලු වුණු යුගයක් මේ ඉතිහාසයේදී මම දැකල නැහැ.
ගරු අග්‍රාමාත්‍යතුමා පත්වීම පිළිබඳව සම්පූර්ණයෙන් ව්‍යවස්ථාවට අනුවයි ඒ කටයුත්ත සිදු වුණේ. ජාතික ආණ්ඩුවක් තිබුණා. කැබිනට් මණ්ඩලය හතලිස් පහක් හිටියා. එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වුණා. මම ලිපියක් ඉදිරිපත් කරල ගත්ත තීන්දුව අනුව රටේ ඇති වුණු අරාජිකත්වය, රාජ්‍ය දේපල විකිණීම, රට විදේශීයකරණය, නීතිය ක්‍රියාත්මකවීම පිළිබඳව තිබුණු ගැටළු නිසායි අපි ඒ තීන්දුව ගත්තේ.
ඒ ලිපිය මම ඉදිරිපත් කරනවාත් සමඟම ජාතික ආණ්ඩුව අවසන් වෙනවා. අගමැතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය විසිරෙනවා. ඒකයි නීතිය. ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයා විදියට මේ රට බේරගත්ත, මේ රටේ වැඩිම ජනතා ප්‍රසාදය හිමිවුණ නායකයා විදියට මහින්ද රාජපක්ෂ මැතිතුමා දිවුරුම් දෙනවා. ඒ දිවුරුම් දීම සම්පූර්ණයෙන් ව්‍යවස්ථාවට එකඟයි. සම්පූර්ණයෙන් රටේ නීතියට එකඟයි. ඒ පිළිබදව හිටපු අග්‍රාමාත්‍යවරයාත් දන්නවා. ඒ නිසායි එතුමන්ලා අධිකරණයට ගියේ නැත්තේ. නැත්නම් ඒකට අධිකරණයට යන්න තිබුණා. ඕනෑම කෙනෙකුට අධිකරණයට යන්න පුළුවන්. නමුත් එහෙම ගියේ නැහැ. අධිකරණයෙන් විවිධ පුද්ගලයින් අර්ථ නිරූපන ඉල්ලා සිටියත් ඒවා වැඩක් වුනේ නැහැ කියල අපි දන්නවා. මේ ප්රශ්නය පිළිබඳව කටයුතු කිරීම සම්බන්ධයෙන් එතුමා ඇතුළු ඇමති මණ්ඩලයට පැවරිලා තිබුණා.
පාර්ලිමේන්තුවේදී කතානායකවරයාගේ හැසිරීම පිළිබඳව ගැටළුවක් තිබුණා. ජනාධිපතිවරයාට පැවරිලා තිබුණු බලතල අනුවයි පාර්ලිමේන්තුව කල් තිබ්බේ. ඒ කල් තිබ්බම නැවැත ජනාධිපතිවරයා කථානායකවරයා එක්ක කළ සාකච්ඡාවට පක්ෂ නායක සාකච්ඡාවට මම පළමු වතාවට ගියා. එහිදී එතුමා අග්‍රාමාත්‍ය ධූරය පිළිගත්තා. ආසන පනවන්න කාර්යාලය දෙන්න. ඒ කටයුතු කරන්න එකඟ වුණා. නමුත් දවස් හතරක් යද්දී එතුමා සම්පූර්ණයෙන් වෙනස් වුණා.
අපිට හිතාගන්න බැරිවුණා අපිත් එක්ක කථා කළ ඒ කරූ ජජයසූරිය මහත්තයත් ඊට පස්සේ කථා කළේ කියලා. ඊට පස්සේ වෙනම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා. එතුමා සුපුරුදු පරිදි කටයුතු කරන්නේ නැතුව සම්ප්‍රදායට පිටින් ගිහිල්ලා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කියන හැඟීමෙන් කටයුතු කරන්න පටන් ගන්නවා. එතන ඉදලා තමයි ජනාධිපතිතුමාට දැනුනා පාර්ලිමේන්තුවේ ගාලගෝට්ටියක් ඇති වෙනවා කියලා.
මොකද සම්පූර්ණයෙන් ව්‍යාවස්ථාවට පිටින් පාර්ලිමේන්තු සම්ප්‍රදායට පිටින් කටයුතු කරන බව පෙනී ගියා. ඒ නිසායි ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව විසිරුවන්න කටයුතු කළේ. සම්පූර්ණ ව්‍යාවස්ථාවට අනුවයි ඒ තීන්දුව ගත්තේ. නමුත් අධිකරණයට තාවකාලියකව අත්හිටුවීමක් කළේ. ඒකෙන් හැඟවෙන්නේ නැහැ නැවත පාර්ලිමේන්තුව කැඳවන්න බලයක්. අග්‍රාමාත්‍යවරයාගේ විශ්වාසභංගයක් ගැන කතා කරන්න. එහෙම අවකාශයක් දුන්නේ නැහැ පාර්ලිමේන්තුවේදී. අධිකරණ නියෝගයේ කිසිම තැනක තිබුණේ නැහැ නැවත පාර්ලිමේන්තුව කැඳවන්න අග්‍රාමාත්‍යතුමාට විශ්වාසභංගයක් ගේන්න කථාවක්. තාවකාලිකව අත්හිටුවීමක් කලා පමණයි. අධිකරණ නියෝගයටත් එහා ගිහිල්ලා කථානායකවරයා පාර්ලිමේන්තුව කැඳවන්න තීරණය කළා. ඒකත් කැඳවලා සම්ප්‍රදායට පිටින් විශ්වාසභංග යෝජනාවක් භාරගන්නවා. පාර්ලිමේන්තුව රැස්වුණාටත් පස්සේ විජිත හේරත් මන්ත්‍රීවරයා ඇවිල්ලා ගේනවා විශ්වාසභංග යෝජනාවක්.
මම දැකල තියෙනවා අනූගණන් වල විශ්වාසභංග යෝජනා ගෙනාවා. විශ්වාසභංග යෝජනා ගෙනත් භාර දීලා පක්ෂ නායක රැස්වීම් කැඳවලා ඊළගට දින නියම කරලා ඊටත් පස්සේ දවසක විවාදයක් තිබ්බා. දැන් මේ මොකක්ද. අපි දැක්කෙත් නැහැ ඒ ලියවිල්ල. විවාදයක් තිබුනෙත් නැහැ. යෝජනාව සම්මත කරන්න යනවා.
මේක පාර්ලිමේන්තුවක්ද මාළු කඩයක්ද කියල හිතාගන්න බැහැ. මෙතන කථානායකවරයා ලියවිල්ලක් දුන්නා කිව්වා. ඊට පස්සේ යෝජනා සම්මත කරනවා. සම්පූර්ණයෙන් එය නීත්‍යානූකූල නොවන අයුරින් එය කළේ. ඊට පස්සේ සද්දෙට අනුව සම්මත කරන්න හැඳුවා. අද ශබ්දය බැලුවා නම් අපේ පැත්තයි වැඩි. ආණ්ඩු පක්ෂයේ තමයි අද ශබ්දය වැඩි. ශබ්දයට යෝජනා සම්මත කරනවා. මේව මහ විහිළු.
පාර්ලිමේන්තුව ගැන විශ්වාසයක් නැති වුණු දවසට රටේ ඊළගට දැවැන්ත කැරැළි නිර්මාණය වෙනවා. ජනාධිපතිතුමා මේ අනතුර දැක්කා. මේ ලේ හැලීම් දැක්කා. ඊයේ අපේ හතරදෙනෙක් තුවාල වුණා. පිහි අරගෙන දෙන්නෙක් ආවා.
මම දැක්කා ෆේස්බුක් වල දාලා තියෙනවා තෙවරක් නෙවෙයි සියවරත් පෙරුවත් මේ වගේ මිනිහෙක් හොයාගන්න නැහැ කියලා. ඇත්ත මේ වගේ පිස්සෝ හොයාගන්න අමාරුයි සියවරක් පෙරුවත්. මම නම් හිතන්නේ මොළය පරික්ෂා කරන්න ඕන. හැමදාම ඒ වගේ දේවල් කරන අයයි අද පාර්ලිමේන්තුවට ඇවිත් තියෙන්නේ.
මමත් ගියා පක්ෂ නායක රැස්වීමට. එතනදී පැහැදිලිව කථා වුණා මේව ව්‍යාවස්ථාවට පටහැනියි. අපි මුහුණ දෙන්න සූදානම්. මන්ත්‍රීවරු සල්ලි වලට විකිණුනා. වෙන්දේසි වුණා. නමුත් නීත්‍යානූකූල ක්‍රමයට මෙය එනවා නම් අපි කවුරුවත් අකමැති නැහැ. නව අග්‍රමාත්‍යතුමා එය පැහැදිලිව කිව්වා.
සමාන්‍යයෙන් කියනවා පාර්ලිමේන්තුව හෙටට කල්තිබ්බා කියලා. ඒ කියන්නේ ඊළග පාර්ලිමේන්තු දිනයට කියන එක. පාර්ලිමේන්තුවේ කල් ඉල්ලුවම සති දෙකකින් කල් දෙනවා. ඒ කියන්නේ ගොඩක් කල්. මම දන්නේ නැහැ මෙහෙම පාර්ලිමේන්තුවක් නම් මම දැකලත් නැහැ අහලත් නැහැ. මේක අරගනෙ හෙට තියනවා. ජනාධිපතිතුමා පිළිගත්තේ නැහැ ඒ ඊයේ ඉදිරිපත් කළ ලියුම. එතුමා තව එකක් කියනවා මම මේ අග්රාමාත්යවරයත් ඇමති මණ්ඩලයත් පිළිගන්නම් කියලා. මම දන්නේ නැහැ කොහේ තියන බලයක්ද කියලා. කථානායකවරයා මොනවහරි බීල ඇවිල්ලද කියලත් මට සැකයි. එවන් තත්වයක් තුලයි මේ ගැටුම ඇති වුනේ.
එකසැරේටම පොලිසියේ හතලිහක් පනහක් වැටක් බැඳගෙන එනවා. මම මෙලො දෙයක් දැක්කේ නැහැ. කථානායකවරයෙක් මගේ ඇහැට දැක්කේ නැහැ. මමත් එබි එබී බැලුව කොහේහරි මුල්ලකවත් ඉන්නවද කියලා. එහෙමවත් හිටියේ නැහැ. මම ඊළගට කනේ ගහගත්තා. ඒකෙන් සද්දයක් ආවා. මම හිතුවේ කථානායකවරයා කාර්යාලයේ ඉදල මොනවහරි කියනවා කියලා.
මොනවද කියාගෙන කියාගෙන ගියා. කාටවත් තේරුණේ නැහැ කිව්ව දේ. මේක විගඩමක්. අපි හැමෝම ගරු කලා කථානායකවරයාට. හොද බෞද්ධයෙක් විදියට පිළිගැනීමක් තිබුණා. එතුමා අද ඒක අමතක කරලා බටහිර මිතුරන්ට ඒන විදියට ඉටු කරන්න යනවා කියලයි මට නම් පේන්නේ. සුද්දෝ ටිකක් ඇවිත් ඉන්නවා පාර්ලිමේන්තුව බලන්න මේ දවස් වල. ඒ අයටයි පාර්ලිමේන්තුව තියෙන්නේ.
අපි මේ පිළිබඳව කණගාටු වෙනවා. අපි දන්නවා රටේ ජනමතය තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට. අගමැතිවරයා මේක පැහැදිලිව කිව්වා මේක දෙසිය විසිපහට නෙවෙයි රටේ ජනතාවට දෙන්න කියලා. කවුද ඡන්ද වලට බය. මේ විරුද්ධ පක්ෂය ඡන්ද වලට බයයි. ඡන්දයකට යෑමයි වඩාත් සුදුසු. එතකල් ගරු අග්‍රාමාත්‍යතුමා අග්රාමාත්යධූරයේ කටයුතු කරනවා.‘‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනවාරි මාසයෙන් පසු අවශ්‍ය නම් ජනපතිවරණයකට යා හැකි නිසා මේ කලබල නොකර ජනපතිවරණය තබන්න.
කතානායක ධුරය නොවේ නුඹලාගේ හෙන්චයියලා තමයි හෑල්ලු වුනේ...
මොනවද මේ කියන්නේ? කථානායක ධුරය නෙමෙයි, මන්ත්‍රීවරු කියන අයගේ හැසිරීම...
මහජනතාව වන අපිද පාර්ලිමේන්තුව හෑල්ලුවකට ලක් කලේ? අපිටද මේ කතා කරන්නේ ඔබ තුමා? අපිට මේ විහිළුවක් වත් කරනවාද?
අකුරක් නෑර කථාව කොපි කරලා.
මහජනතාව මෝඩයෝ කියල හිතන්න එපා.
ඉතින් කතානායකට හරි විදිහට පාර්ලිමේන්තුව ගෙනියන්න දුන්නේ නැත්තේ කව්ද?අපිද?
99 ඉඳලා පාර්ලිමේන්තු ගියාලු, දන්නේ නැහැ අගමැතිකමට තෝරා පත්කරගන්නේ ජනතාවගේ ඡන්දයෙන් නොව පාර්ලිමේන්තුවේ වැඩි බහුතරයේ කැමැත්තෙන් කියලා.
මන්ත්‍රීවරුන් කියන පිරිසක් මේ තරම් නින්දිත විදිහට හැසිරෙනු අප මීට පෙර කවදාවත් දැක නැහැ. පාර්ලිමේන්තුවට මිරිස්කුඩු ගෙනිච්ච කෙනා කොහොමද ඇතුලට රිංගා ගත්තේ? කතානායකතුමා අපක්ෂපාත වීමයි, මෙතන තියන වරද? එතුමා තරම් නිර්භීත, අපක්ෂපාත කතා නායකයෙකු සිටීම පාර්ලිමේන්තුවට ආඩම්බරයක්.
කරු ජයසුරිය වගේ නිර්භීත කතානායකවරයෙක් පාර්ලිමේන්තු ඉතිහාසයේ ඉඳලම නැහැ. ඒ වගේම පාර්ලිමේන්තුව තුල පුද්ගලයෙකුට මිරිස් කුඩු ප්‍රහාරය එල්ල කල පුද්ගලයාව අත්අඩංගුවට ගන්න ඕනේ. එය සාවද්‍ය මිනීමැරුමකට සමානයි.
නූගත් බල ලොභී මී හරක් පාර්ලිමේන්තුවට ගියාම උගත්, සංවර පුද්ගලයෙකුට කිසිදා සැනසීමෙන් වැඩ කරන්න ලැබෙන්නේ නැහැ. එ්ක නිසා බල්ලෝ රැලක් වටකරගන බිරුවට මිනිසෙක් බුරන් නැහැ. මිනිසා තම ගරුත්වය රැකගෙන නිහඬව ඉන්නවා. ලෝකයාම ආයෙත් හොඳින් දැක්කා. පොහොට්ටුවේ හා නිදහස් සංධානේ නූගත් අමනයින්ගේ හැසිරීම උගත් පුද්ගලයෙක් නිහඬවීම යටවීමක් හෝ හෑල්ලුවීමක් නොවේ. මෙතුමා ආයතනයේ හා එතුමාගේ ගෞරවය ආරක්ෂා කර ගත්තා.. නුදුරේදී ජාත්‍යන්තරයෙන් ලැබෙන ප්‍රතිචාර අනුව බලාගන්න පුළුවන් කාටද වැරදුනේ කියලා.. මේකට කියන්නේ චන්ඩිකම කියලා නෙවේ නුගත් නින්දිතකම කියලයි...
මේ මනුස්සයට අනුකම්පා කරන්න. බස් කොන්දොස්තර කෙනෙක්ට තේරෙන තරම තමයි මේ.
සල්ලි වලටවත් බහුතරය හදාගන්න බැරිවුණු අයගේ පහත් වැඩවලට කොහෙත් ඉන්න කතානායකද වගකියන්න ඕනේ.. අපේ රටට ලැජ්ජා කරනවා...
මේ වගේ කෙනෙක් තවත් නැහැ..
තමුන්නාන්සේටත් දැන් ඇමතිකමක් නෑ.
ඒ මනුස්සයාගේ වගකීම, යුතුකම මොන බාධක ආවත් හරියට කළා. වැදගත් බුද්ධිමත් මිනිස්සුන්ට ගරුකරන්න මුලින් ඉගෙන ගන්න. කියන කියන පදවලට කතානායක නටන්න ඕනෑ නෑ. හරි දේ කරන්න ඒ මිනිස්සුන්ට උගන්වන්න ඕනෑ නෑ. මෙහෙමත් වනචාරීන් ටිකක්නේ රට පාලනය කරන්නේ...
කතානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර වගේ එජාපයෙන් ඇවිල්ලා මහින්දට කඩේ ගියොත් හොඳද?
ඉතිහාසයේ දැකලා වැඩක් තිබේද ? වර්තමානයයි වැදගත් ඒ බව මුළු ලොවම දුටුවා කව්ද මිලේච්ච ලෙස හැසිරුනේ කියා . දිලුම් ,ජොන්ස්ටන් සභා ගැබේ භාණ්ඩ කඩනවා ප්‍රසන්න නිල ඇඳුම පිට රාජකාරියේ ඉන්න පොලිස් නිලධාරියෙකුගේ මුනට පැනලා ගහනවා . මම එතන රාජකාරී කලානම් ජීවිතේ ගියත් ඒ මිනිහව ඇදලා අරගෙන මාංචු දානවා .පොලිස් පති ඔහුගේ මේ පහර දීමට නිසි ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් ඔවුන් ඔවුන් ගැනම ලජ්ජා විය යුතුයි මන්ද ඔහු පහර දෙන්නේ රාජකාරී නිල ඇඳුමටයි.. ඔක්කොටම වඩා වීඩියෝවේ දුටු පරිදි පුදුමය නම් ඉපදුන දවස පටන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා තිබෙනවා කියූ පුද්ගලයා හිනා වෙවී කලබල කරන්න ඉඟි කරමින් තම පාක්ෂිකයන්ට ව්‍යංගයෙන් පණිවුඩ නිකුත් කරමින් කටයුතු කල ආකාරයයි
කතානායක ධූරය හෑල්ලු වුනේ නැහැ. නූගත් මොට්ට ගොන් රැලක් ප්‍රජාතන්ත්‍රවාදෙය් උත්තරීතර පාර්ලිමෙන්තු ගරුත්වය කෙලෙසුවා හැබයි ඒ බව මොලයක් නැති අයට අවබෝධ වෙන්නේ නැහැ.
මේ ප්‍රශ්න ඔක්කොටම වගකිව යුත්තේ මෛත්‍රිපාල ඉතිහාසයේ කවදාවත් මෙවැනි ගහමරා ගැනීම් වෙලා නැහැ. මින් ඉදිරියට පොදු අපේක්ෂකයින් ජනපතිවරණයට ඉදිරිපත් නොකිරීමට සියලුම පක්ෂ වගබලාගත යුතුයි. හැකිනම් මොහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙනැවිත් පන්නා දැමිය යුතුයි.