(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ක්‍රිකට් ආයතන ප්‍රධානීන් නෙරපීමේ යෝජනාව පිළිබඳ විවාදයේදී විපක්ෂය දිගින් දිගටම ඉල්ලද්දීත් ඡන්දයකට  අවස්ථාව  නොදීම සම්බන්ධයෙන් කතානායකවරයාට එරෙහිව  අදාළ සියලු ජාත්‍යන්තර සංවිධානවලට පැමිණිලි කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ( 10) පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ යෝජනාව ඒකමතිකව සම්මත කිරීමට පොදු එකගත්වයක් ඇති කරගෙන තිබූ හෙයින් ඒ එකඟතාව අනුව තමා කටයුතු කළ බවයි.

යෝජනාවට සභාව එකඟදැයි තමා තුන් වරක් විමසීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ බවත් ඒ අවස්ථාවේදී සභාවේ ඝෝෂාවක් පැවතුන හෙයින් කවුරුන් හෝ මන්ත්‍රීවරයකු ඡන්දයක් ඉල්ලා සිටියේ දැයි තමාට නොඇසුණු  බවත්   කතානායකවරයා කීවේය.

විපක්ෂ නායකවරයා මෙසේද සඳහන් කළේය.

ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන්  විගණන වාර්තාවේ තිබෙන කරුණු පිළිබඳව පියවර ගන්න  නීතිපතිවරයාට දැනුම් දෙන්න කියලා කතානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා. ක්‍රිකට් නියාමනය සඳහා රජයේ අවධානය යොමු වී තිබේද. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තියෙන්නෙ ආණ්ඩුවට වඩා උඩින්ද. පාර්ලිමේන්තුවට වඩා උඩින් ද. ව්‍යවස්ථාදායක සභාවට වඩා උඩින් ද. විධායකයට වඩා උඩින් ද අධිකරණයට වඩා උඩින්ද.
ක්‍රිකට් පාලක මණ්ඩලයේ  ජාවාරම්කාර ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වෙනවා. ඒ ත්‍රස්තවාදය පරාජය කිරීමට සියළු දෙනා එක් වෙන්න ඕන. 

මේගොල්ලන් අද කටයුතු කරන්නේ වෙනම රාජ්‍යයක් විදියට. එයාලට එහෙම කටයුතු කරන්න පුලුවන්ද. පසුගිය ලෝක කුසලාන කුසලානයේදී සිදුවූ වංචා ගැන දිගින් දිගටම කරුණු හෙළි වුණා.

(ආණ්ඩු පක්ෂයෙන්  බාධා)

ප්‍රේමදාස මහතා:

ක්‍රිකට් ආයතනයේ මුදලට ගිජුවූ අයද  මේ කෑ ගහන්නේ. අතට මොනවා හරි හම්බ වෙලා තියෙනවා නම් ඒක තියාගන්න. මෙතන කෑගහන්න එන්න එපා. 2018 එංගලන්ත සංචාරයේදී විකාශන අයිතිය වෙනුවෙන් ලැබුණු  ඇමරිකානු ඩොලර් 5.5 ට වෙච්ච දෙයක් නැහැ. කෝ ඒ සල්ලි. ඒ සල්ලි ගියේ කොහාටද. අපේ රටට අහිමි වූ කෝටි ප්‍රකෝටි ගණන් මුදල් කාගේ පොකට් එකටද ගියේ. මේ සල්ලි පිල්ලි ගැහුවෙ කොහොමද. දකුණු අප්‍රිකානු සංචාරයේ විකාශන අයිතිය ඇමරිකානු ඩොලර් එක්ලක්ෂ අසූ හත් දහස ගියේ කොහේටද. ඒ වගේම ලංකා බැංකුවෙන් ඊයේ  ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් ඉවත් කරගන්න උත්සහ කරපු බව ආරංචි වුණා මොකක්ද එකේ තත්වය. කවුද ඒක නිදහස් කරන්න අනුමත කළේ.  මේ රටේ ජනතාව දැනගන්න ඕන. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදලින් කුලිය ගෙවන සිනමන් හෝටලයේ තියෙන කාර්යාල කාමරයක ගජමුතුරු කණ්ඩායම  දූෂිත කල්ලිය එකට එකතු වෙලා ඉන්දියාවේ ෂා ට කතා කරලා  අපේ ක්‍රිකට් කණ්ඩායම  ජාත්‍යන්තර තහනමකට ලක් කරනවා  කියලා ප්‍රකාශ කරලා තියෙනවා. මොකක්ද ඒකට ගන්න පියවර. ෂාට කියලා තහනමක් ගන්නවා කියලා. අපි ප්‍රජාතන්ත්‍රවාදයට ඇඟිලි ගහනවා කියලා තමයි එහෙම කරන්න යන්නේ.

(ආණ්ඩු පක්ෂයෙන්  බාධා)

මේ කතා කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සල්ලි. තමුසෙගෙ කටට මම බය නෑ ඕයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂිත කල්ලිය පරාජය කිරීමට ක්‍රීඩා ඇමතිතුමාට අපිට දෙන්න පුළුවන් උපරිම සහය  දෙනවා.