මළ නෑයකුගේ නියමය පරිදි උණ හැඳුණු රෝගී කතක රෝහලට ගෙන නොගොස් පණ පිටින් වළ දැමීමට සුදානම් කැර තුබූ සිද්ධියක් කන්ද කැටියේ මාලියද්ද නාරංගස්තැන්නෙන් අද වාර්තා විය.  කන්දකැටියේ  සිට කිලෝමීටර් දහයක් දුරින් පිහිටි මේ ගමට කිලෝ මීටර් පහක් කඳු නැඟ පයින්ම යා යුතුය. කන්දකැටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මනුජ ලක්මිණ විපුලදාස අද එහි ගියේය. ඔහු එහි ළඟා වන්නට පැයකට පමණ පෙර ඇය අවසන් හුස්ම හෙළුවාය. මිය ගියේ ඩබ්ලිව්. ඇම්. නන්දාවති (45) නම් දෙදරු මවකි. මැරෙන්නට පෙර ඇගේ නාස් පුඩු වලට පුළුන් ඇබ ගසා, පෙට්ටියක බහා  තුබූ නමුත් වෛද්‍ය නිලධරයා එහි ළඟා වන විට රෝගීයා ඇඳක තබා තිබිණි. ඇය රෝහලකට රැගෙන ගියේ නම් ජිවිතය බේරාගත හැකිව තුබූ බව වෛද්‍ය විපුලදාස කියයි. සිරුර භුමදානය කිරීම නතර කළ වෛද්‍ය නිලධරයා කන්දකැටිය පොලිසිය දන්වා පශ්චාත් පරීක්ෂණ පැවැත්වීමට පියවර ගත්තේය. ලෙඩකට  ප්‍රධාන ප්‍රතිකාරය කොළ අතු ඇඳ රැය පහන් වනතුරු මල්එළිය හෙවත් යකුන් නැටවීම  මේ ගමේ සිරිතයි. පවුලේම කෙනකු ආවේශ වී මල්එළිය නටයි. මොවුන්ගේ මේ වැඩ පිළිවෙළ ආදිවාසීන්ගේ ‘කිරි කොරහට‘ සමානය.