(මනෝප‍්‍රිය ගුණසේකර)

ජාත්‍යයන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වෙමින් හෙරොයින් කිලෝ 300 ක් ගිනි අවි සහ පතුරම් ලංකාවට ආනයනය කිරීමට ආධාර අනුබල දුන්නැයි සැකපිට රිමාන්ඞ් බාරයට  සිටි මත්ද්‍රව්‍ය ජාවාරමට යොදාගත් බව කියන ටෝලර් යාත‍්‍රාවේ හිමිකරු ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද නියම කළේය.
ලංකාවෙන් පිට ඉන්දියානු මුහුදු කලාපයේ සිදුවු අපරාධයකට මෙරට සිටින පුද්ගලයන් ආධාර අනුබල දුන් බව පැවසීම විය නොහැක්කක් බව කියමින් නීතීඥ සුසන්ත කුමාර දේමුණි මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් ටෝලර් යාත‍්‍රාවේ හිමිකරුට ඇප නියම කිරීමට විනිසුරුවරයා නියම කළේය.
රුපියල් ලක්‍ෂයක මුදල් හා රුපියල් ලක්‍ෂ 25 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකුගේ ශරීර ඇප මත මෙලෙස මුදාහරින ලද්දේ නාකුළුගමුව මොරකැටිආරේ පදිංචි ‘‘රවි හංසි’‘ නමැති ටෝලර් යාත‍්‍රාවේ හිමිකරු බව කියන එල්.වයි. නිශාන්ත නමැත්තෙකි.