(මොහොමඩ් ආසික්)

කටුගස්තොට කහල්ල කළුගල සණස බැංකු සංගමයේ සාමාජිකයන්ගේ රුපියල් කෝටි හතරකට වැඩි තැන්පතු මුදල් ප්‍රමාණයක් සමඟ අතුරුදහන්ව සිටි එම බැංකු සංගමයේ සභාපතිවරයා පොලිසිය වෙත භාර විමෙන් පසු කටුගස්තොට පොලීසිය මගින් අද  අත් අඩංගුවට ගනු ලැබ තිබේ.

වසර 35 කට වැඩි පැරැණි බැංකු සංගමයක් වන මෙම සණස බැංකු සංගමයේ මුළු කාලය පුරාම තැන්පත් කර ඇති රුපියල් කෝටි ගණනක මුදලක් සමඟ එම සංගමයේ සභාපතිවරයා අතරුදහන්ව ඇති බවත් තමන්ගේ මුදල් ලබා දෙන ලෙසත් ඉල්ලා තැන්පතුකරුවන් විසින් පැමිණිලි පොලීසිය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

තමන් ගඩොල් කපා කැලී වැඩ කර එකතු කර ගත් මුදල් මෙම බැංකු සංගමයේ තැන්පත් කළ බවත් ඔවුහූ කීහ.

කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.සී .රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම සැකකරු සොයා පරික්ෂණ කණ්ඩායම් කිහිපයක්ම යොදා සිටි අතරතුර ඔහු පොලිසිය වෙත භාර වී තිබේ.

ඒ අනුව අත් අඩංගුව‌ට ගත් සැකකරු අද මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.