(අංජුල මහික වීරරත්න)

ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් සහ ව්‍යවසායකයින් රැසක් මෙරට ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක සෘජු ආයෝජන  කිරීමට එකඟතාව පළ කර ඇතැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ක්ලයිඩ් නෝර්ත් හිදී පැවැති සාකච්ඡාවකදී ඕස්ට්‍රේලියා ව්‍යවසායකයන් මෙම කාරණය සඳහන් කර ඇත.

මෙහිදී තිරසාර බලශක්ති විසඳුම් සහ ඇඟලුම් ක්ෂේත්‍රයේ තිරසාර ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලීන් ශ්‍රී ලංකාවේ  ස්ථාපිත කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු විය. ඊට අමතරව, දෙනුන් 2,000ක ධාරිතාවකින් යුත් මහා පරිමාණ වාණිජ කිරි ගොවිපළ ව්‍යාපෘතියක් සහ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන නවීන පශු සම්පත් අභිජනන ව්‍යාපෘතියක් මෙරට කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම වෙනුවෙන් හඳුන්වා දීමටද සාකච්ඡා කෙරිණි.

එසේම කාර්මික සංවර්ධන මණ්ඩලයේ ඒකල කාර්මික ජනපදය කේන්ද්‍ර කරගනිමින් ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් ආශ්‍රිත මහා පරිමාණ ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය සහ උපාංග නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමටත්, ඒකාබද්ධ ජලජීවී වගා ව්‍යාපෘති, මාරවිල ප්‍රදේශයේ පරිසර හිතකාමී සංචාරක හෝටල් ව්‍යාපෘති, ආහාර සැකසුම් නිෂ්පාදන කර්මාන්ත  සහ FLEXIMAKE ආයතනය සම්බන්ධ වන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටත් ආයෝජකයෝ එකඟතාව පළ කළහ.