(සුජිත් හේවාජුලිගේ)

මඩකලපුව ඔට්ටමාවඩි කොවිඩ්  පොදු සුසාන භූමියේ  භූමිදානය කර ඇති කොවිඩ්  මෘතදේහ සංඛ්‍යාව  තුන් දහස්  දෙසීයක් (3200) දක්වා ඉහළ නැග ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය.

භූමිදානය කෙරුණු වැඩි පිරිසක්  ඉස්ලාම් භක්තිකයන්ය.

ඔට්ටමාවඩි  පොදු සුසාන භූමියේ  කොවිඩ්  මෘතදේහ භූමිදානය ඇරඹුවේ  පසුගිය මාර්තු මස 5 වැනිදාය.

මේ අනුව මාස නමයකට ආසන්න කාලයක් එහි කොවිඩ්  මෘතදේහ භූමිදානය කර ඇතැයි  හම්දානි  මහතා පැවසුවේය .

මේ අතර  කොවිඩ්  මෘතදේහ භූමිදානය සඳහා  තවත් ප්‍රදේශ දෙකක්  තෝරාගැනීමට  කටයුතු කරගෙන යන බවත් එම කටයුතු  ඉදිරි දිනවලදී අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.

මඩකලපු ඔට්ටමාවඩි පොදු සුසාන භූමියේ කොවිඩ් භූමිදානය කෙරෙන්නේ විශේෂ සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද  කීපයක්ම අනුගමනය කරමින් යැයි  සෞඛ්‍ය අංශ පවසයි.