
(විමුක්ති එස් රුද්‍රිගු)
එල් නිනෝ දේශගුණික සංසිද්ධියෙන් මෙරට ආර්ථික වර්ධන වේගයට බලපෑමක් එල්ල වීමේ අවදානමක් තිබෙන බව මහ බැංකුව පසුගියදා නිකුත් කළ නවතම වර්තාවක දැක්වේ.
එහිදී එල් නිනෝ දේශගුණික සංසිද්ධිය කෘෂි කර්මාන්තයට එල්ල කරන බලපෑම හේතුවෙන් මෙරට ආර්ථික වර්ධන වේගය පහළ යාමේ අවදානමක් තිබෙන බවද එම වාර්තාව පෙන්වා දුන්නේය. එසේම එල් නිනෝ දේශගුණික සංසිද්ධිය හේතුවෙන් මෙරට උද්ධමනයද ඉහළ යෑමේ අවදානමක් තිබෙන බව එහි සඳහන් වේ.
එල් නිනෝ දේශගුණික සංසිද්ධිය මෙරටට ආකාර දෙකකින් බලපෑම් එල්ල කළ හැකි බව එම වාර්තාවේ දැක්වේ. පළමු වැන්න වියළි කාළගුණයෙන් බවත් දෙවැන්න අධික වර්ෂාවෙන් බවත් එහි සඳහන් වේ. කෙසේ වෙතත් එල්ල වන බලපෑම සම්බන්ධයෙන් ඉහළ අවිනිශ්චිතතාවක් තිබීම හේතුවෙන් එය අවදානමක් ලෙස නම් කර තිබෙන බවද එම වාර්තාවේ දැක්වේ.
කෙසේ නමුත් මැද පෙරදිග අර්බුදය හේතුවෙන් මෙරට ආර්ථිකයට එල්ල වනු ඇතැයි අපේක්ෂා කළ බලපෑමට වඩා අඩු බලපෑමක් මෙරට ආර්ථිකයට එල්ල වී ඇති බවත් ඒ හේතුවෙන් මෙම වසරේ දෙවැනි භාගයේදීද මෙරට ආර්ථික වර්ධන වේගය ස්ථාවරව පවතිනු ඇතැයි සියලු දර්ශක පෙන්නුම් කර තිබෙන බවත් එහි සඳහන් වේ.
නැවත මැද පෙරදිග අර්බුදය දැඩි වීම සහ දේශගුණික විපර්යාස මෙරට ආර්ථික වර්ධනයට ඉහළ අවිනිශ්චිතතාවක් එක් කරන බව එම වාර්තාව පෙන්වා දෙයි. ගෝලීයව මෙම වසරේදී බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 80 සීමාවේ පවතිනු ඇතැයි පුරෝකතනය කර තිබෙන බවත් ලබන වසරේදී බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇමෙරිකානු ඩොලර් 70 සීමාවේ පවතිනු ඇතැයි පුරෝකතනය කර තිබෙන බවත් මහ බැංකු වාර්තාවේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd