(අංජුල මහික වීරරත්න)

එල්-නිනෝ බලපෑම හේතුවෙන් රැකියා අහිමි වූවන්ට සහන සැලසීම සඳහා නව වැඩපිළිවෙළක් සකසන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැවැසීය.

එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ සභාපතිත්වයෙන් පත් කරන ලද විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව ජනාධිපති කාර්යාලයේදී සිව්වන වරටත් රැස් වූ අවස්ථාවේ මේ පිළිබදව තීරණය කෙරිණි.

එල්-නිනෝ බලපෑම හේතුවෙන් ඇතැම් පිරිස්වලට රැකියා අහිමි වීමේ අවදානම පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර, එසේ රැකියා අහිමි වූ අයට සහන සැලසීම වෙනුවෙන් අනුගමනය කළ හැකි ක්‍රමවේද පිළිබඳවද පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

එලි-නිනෝ දේශගුණික තත්ත්වය හේතුවෙන් එළවළු සහ පළතුරු වගාවන්ට ඇති විය හැකි අවදානම අවම කිරීම සඳහා ගත යුතු පියවර මෙන්ම, රට තුළ එළවළු හිඟයක් ඇති නොවන පරිදි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී අවධානය යොමු කරන ලදී.

මේවන විට දිස්ත්‍රික්කය 06ක ජනතාව එල්-නිනෝ බලපෑමට ලක්ව ඇති බැවින්, එම ප්‍රදේශවල ජනතාවගේ දෛනික ජීවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අඛණ්ඩ ජල සැපයුම සහතික කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති වැඩසටහන්වල ප්‍රගතියද සමාලෝචනයට ලක් කෙරිණි.

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ ලේකම්/කැඳවුම්කරු සහ නිලධාරී කමිටුවේ සභාපති/ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ.ආර්. උඩුවාවල, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ. එල්.කේ. විජේමාන්නගේ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ යන මහත්වරුන් ඇතුළු අදාළ දෙපාර්තමේන්තුවල නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.