(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

උඩවලව ජාතික වනෝද්‍යානයේ පනහඩුව ප්‍රදේශයේදී  අවුරුදු හතක් පමණ  වයසැති වන අලියකු  කකුල්  ලණුවලින් බැඳ සොරකම් කිරීමට උත්සාහ දරා ඇති බවත් මෙම උත්සාහය  උද්‍යාන බාරකාර රණතුංග මහතා ඇතුළු වනජීවී නිලධාරින් සහ  දියතලාව යුද හමුදා කඳවුරේ නිලධාරීන්  වළක්වා තිබූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවැසීය

එම ප්‍රයත්නය වැළැක්වූ සියලු නිලධාරීන්ට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ  වනජීවී අමාත්‍යවරයාට  තමා ස්තූතිවන්ත වන බවද  හෙතෙම සඳහන් කළේය.

විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ කතානායකවරයාගේ අවසරය ඇතුව විශේෂ ප්‍රකාශයක් කරමිනි.

මහාපරිමාණ අලි හොරකමක පෙර නිමිති අද මතුව ඇති බවත් අලි හොරකම් නැවැත්වීමට වහාම නව නීති සම්පාදනය කළ යුතු බවත් ඔහු පැවසුවේය.

වනයෙන් සොරාගත් අලි ඇතුන් පින්නවලට  ලබාදිය යුතු බවද ප්‍රේමදාස මහතා කීවේය .

පෙරහර සඳහා හීලෑ අලින් බෝ කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීම ප්‍රායෝගික යැයි  පැවසූ විපක්ෂනායකවරයා ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයිද ඉල්ලීමක් කළේය.