(සමන් පාලිත නානායක්කාර)

හල්දුම්මුල්ල උඩවේරියවත්තේ අද (11) දහවල් හටගත්  විශාල ගින්නක් හෝර්ටන් තැන්න වනෝද්‍යානය දෙසට විහිද  යාමේ අවදානමක් හටගෙන ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

උඩවේරිය ගිනිහිරිය කොටසේ හටගෙන ඇති මෙම ගින්න හෝර්ටන් තැන්න අධි ආරක්ෂිත කැලෑ රක්ෂිත දෙසට පැතිරී යාමේ අවදානමක් මතුවී ඇති බවද ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පැවසීය.

පවතින වියලි කාලගුණික තත්ත්වය හා සුළං සමග මෙම ගින්න පැතිරීම වේගවත් වී ඇති බවද  ආපදා අංශ සඳහන් කරයි.

මෙම ගින්න පැතිරීම  මැඩ පැවැත්වීම සඳහා වනජීවී නිලධාරීන් කණ්ඩායමක් හෝර්ටන් තැන්න වනෝද්‍යානය දෙසට පිටත්ව ගොස් ඇති  බවත් අවශ්‍යවහොත් යුද හමුදා බට පිරිස් වල සහාය ලබා ගන්නා බවත් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ එම් එල්  උදය කුමාර මහතා පැවසීය.

ඉතා ඉහල පාරිසරික වටිනාකමක් ඇති ප්‍රදේශයක මෙම ගින්න පැතිර යන බවත් උදය  කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.