ඊශ්‍රායලයේ නිල සංචාරයකට පැමිණෙන මෙන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ඇරැයුම් කර ඇතැයි විදෙස් මාධ්‍ය ඊයේ (16) පැවැසීය.

එම ඇරැයුම පිළිගනිමින්, අග්‍රාමාත්‍ය මෝදි ලබන සතියේ ඊශ්‍රායලය බලා යෑමට නියමිත බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය ද තහවුරු කර ඇත. මෝදි මෙසේ ඊශ්‍රායලයට යනු ඇත්තේ වසර නවයකට පසුව වීම ද විශේෂත්වයකි. ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් පසු මෙය මෝදිගේ තෙවැනි ඊශ්‍රායල සංචාරය වනු ඇත.

දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වර්ධනය කිරීම, බටහිර ආසියාවේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ අවධානය යොමු කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් මෝදිගේත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යහුගේත් අවධානය යොමු වනු ඇතැයි ද පැවැසෙයි.