තෙදින නිල සංචාරයක් ආරම්භ කරමින්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඊයේ (16) රාත්‍රියේ ඉන්දියාවේ මුම්බායි නුවරට පැමිණියේය. 

ප්‍රංශ ජනාධිපති ආර්යාව වන බ්‍රිජෙත් ත්‍රොග්නෝව් ද මැක්රොන් සමඟ මෙම ඉන්දීය සංචාරයට එක් වී සිටී. ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සහ මැක්රොන් අතරේ හමුව අද (17) පැවැත්වීමට නියමිත බව ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ ප්‍රධානත්වයෙන් නවදිල්ලියේ කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් විශේෂ සමුළුවක් පැවැත්වෙන අතර, ප්‍රංශ ජනාධිපති මැක්රොන් ඊට සහභාගී වනු ඇත.

ප්‍රංශ ජනාධිපති මැක්රොන්ට අමතරව, බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, භූතාන අග්‍රාමාත්‍ය ත්ෂෙරින් ටොබ්ගේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ඔටුන්න හිමි කුමරු ෂෙයික් කලීඩ් බින් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් ඇතුළු රටවල් 20ක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් එම කෘත්‍රිම බුද්ධි සමුළුවට සහභාගී වන බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

රාජ්‍ය නායකයන්ට අමතරව රටවල් 45 කට අධික සංඛ්‍යාවක අමාත්‍ය මට්ටමේ දූත පිරිස් ද, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද පස් දිනක් තිස්සේ පැවැත්වෙන කෘත්‍රිම බුද්ධි සමුළුවට සහභාගී වන බව පැවැසෙයි.

කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන්, ඉන්දියාව අනුගමනය කරන මානුෂීය සහ තිරසාර ප්‍රවේශය පිළිබිඹු වන ආකාරයට සමුළුව පැවැත්වෙයි. ගෝලීය වශයෙන් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ අනාගත ගමන් මග  සම්බන්ධයෙන් ලෝකයේ අවධානය ඇති කිරීම සමුළුවේ ප්‍රධාන අරමුණ වෙයි. නවීන තාක්ෂණය හරහා ගෝලීය අභියෝග ජයගන්නා ආකාරයත්, කෘත්‍රිම බුද්ධි තාක්ෂණය වගකීම් සහගතව භාවිත කිරීමේ වැදගත්කමත් පිළිබඳවත් සමුළුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරේ.