(විමුක්ති එස් රුද්‍රිගු)

ඉරානය මිසයිල ප්‍රහාර එල්ල කරන ස්ථානවලට පහරදීමට සිය කඳවුරු භාවිත කිරීමට අවසර ලබාදෙන ලෙස ඇමෙරිකාව කළ ඉල්ලීමට අනුමැතිය ලබාදීමට එක්සත් රාජධානිය තීරණය කළ බව අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් එක්සත් රාජධානිය ඉරාකයේ සිදුවූ වැරදිවලින් පාඩමක් ඉගෙනගෙන තිබෙන බවත් ඒ හේතුවෙන් ඉරානයට පහර දීමට ඇමෙරිකාව සහ ඊශ්‍රායලය සමග එකතු නොවූ බවත් ස්ටාමර් පැවැසුවේය.

ඉදිරියටත් ඉරානයට පහරදීමට එක්සත් රාජධානිය එකතු නොවනු ඇති බවද එක්සත් රාජධානි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මිත්‍ර පාර්ශ්වයන්ගේ "සාමූහික ආත්මාරක්ෂාව" සහ බ්‍රිතාන්‍ය ජීවිත ආරක්ෂා කිරීම යන කරුණු පදනම් කර ගනිමින් ඇමෙරිකාවේ ඉල්ලීමට අවසර ලබාදීමට එක්සත් රාජධානිය තීරණය කළ බව ඔහු පැවැසුවේය. ඉරාන මිසයිල ස්ථාන වලට ප්‍රහාර එල්ල කිරීම සඳහා ග්ලොස්ටෂයර්, ආර්.ඒ.එෆ් ෆෙයාර් ෆෝර්ඩ් සහ ඩියාගෝ ගාර්ෂියාහි එක්සත් රාජධානි හමුදා කඳවුරු ඇමෙරිකාව භාවිත කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.