පාකිස්ථානයේ පැවැති සාම සාකච්ඡා බිඳ වැටීමත් සමග අමෙරිකාව සහ ඉරානය අතර පවතින නොසන්සුන්කාරී තත්ත්වය තීරණාත්මක මට්ටමකට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව අද (13) සිට ඉරාන වරායන් වෙත පනවන ලද නාවික අවහිරතාව ක්‍රියාත්මක කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අද (අප්‍රේල් 13) ශ්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව. 7:30 ට පමණ ඉරාන වරායන් වෙත ඇතුළු වන සහ පිටවන නෞකා අවහිර කිරීම ආරම්භ කරන බව අමෙරිකාව ප්‍රකාශ කර ඇත.

මෙම අවහිරතාවය ඕනෑම රටකට අයත් නෞකාවක් සඳහා පක්ෂපාතීත්වයකින් තොරව ක්‍රියාත්මක කරන බවට අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය සඳහන් කරන අතර, කෙසේ වෙතත්, ඉරාන නොවන වරායන් වෙත ගමන් කරන නෞකා සඳහා 'හෝමුස් සමුද්‍ර සන්ධිය' හරහා ගමන් කිරීමට බාධාවක් නොවන බව ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය අනතුරු අඟවන්නේ හෝමුස් සමුද්‍ර සන්ධියට ඇතුළු වන ඕනෑම යුධ නෞකාවක් වත්මන් සටන් විරාමය උල්ලංඝනය කිරීමක් ලෙස සලකා ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවය.