(යෙහාන් භාසුර)

ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතය අද (1) දිනයේ සිට අත්හිටුවූ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද පැවසීය.

අමාත්‍ය කංචන විජේසේකර මහතා, කොළඹ 7, මල් පාරේ පිහිටි විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේදී අද (1) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

ඛනිජ තෙල් සංස්ථාව සතු ඉන්ධන තොග, ඉල්ලුම, මුදල් ප්‍රමාණය, ඇනවුම් කළ හැකි ප්‍රමාණය රටේ පවතින සංචිත ප්‍රමාණය යන සියල්ලම සැළකිල්ලට ගෙන කිව්.ආර්. ක්‍රමවේදයෙන් බැහැර වියහැකි යැයි තීරණය කළ බවත් කිව්.ආර්. ක්‍රමවේදය ඉදිරියේදී වෙනත් ක්‍රමවේදයක් හරහා සීමාවන්ගෙන් තොරව තොරතුරු ලබාගැනීම සඳහා භාවිතා කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා කීය.

එම ක්‍රමවේදය ඉවත් කළ පසුව බැරල් සහ බූලිවලට ඉන්ධන එකතු කිරීමට පිරවුම්හල්වලට එකතු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව කී අමාත්‍යවරයා තම තමන්ගේ රථවලට සහ යන්ත්‍රවලට අවශ්‍ය ඉන්ධන කිව්.ආර්. සීමාවෙකින් තොරව ලබාගැනීම සඳහා මේ වන විට අවස්ථාව ලැබී ඇති බව ද සඳහන් කළේය.

මෙරට ඉන්ධන අළෙවි කරන අයි.ඕ.සී. සහ සිනොපෙක් ඇතුළු සියලුම ආයතන කිව්.ආර්. කේතයෙන් ඉවත් වන බවත් කිව්.ආර්. ක්‍රමවේදයෙන් ඉවත් නොවන ලෙස ඉන්ධන පිරවුම්හල්වලින් ඉල්ලා සිටින බවත් අමාත්‍ය විජේසේකර මහතා කීය.

පිරවුම්හල් කිව්.ආර්. කේතයේ නියමිත ප්‍රමාණයට දුන්නත් ඊට වඩා දුන්නත් තොරතුරු ලබාගැනීමට ක්‍රමවේදයක් ලෙස කිව්.ආර්. කේතය ඉතාමත්ම වැඳගත් බව කී අමාත්‍යවරයා සඳහන් කළේ වසරක කාලයක් කිව්.ආර්. ක්‍රමය පාවිච්චි කිරීමෙන් ඉන්ධන ආනයනය සඳහා මූල්‍ය ශක්තිය ඇතිකරගැනීමේ අවස්ථාව ලැබුණු බවත්ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව පසුගිය මාසයක පමණ කාලය තුළ කිව්.ආර්. කේතයේ අවශ්‍යතාව පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරු වන ඩී. වී. චානක සහ ඉන්දික අනුරුද්ධ යන මහත්වැ කළ අධ්‍යනයකින් පසුව අත්හිටුවීමේ තීරණය එළඹි බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව විදේශ විනිමය අර්බුදයකට ලක්වීමෙන් 2021 වසරේ ඉන්ධන හිඟයක් ඇතිවී ඉන්ධන පෝලිම් ඇතිවීමත් සමඟ ඉන්ධන බෙදාහැරීම ක්‍රමවත් කිරීම සදඟා පසුගිය වසරේ අගෝස්තු මස 1 වැනිදා මෙම කිව්.ආර්. කේතය විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය හදුන්වා දුන්නේය.