(පුෂ්පකුමාර ජයරත්න)

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රජයේ ඉඩම් ලබා දිය හැකි බව පවසමින් කුරුණෑගල රිදීගම සහ දොඩම්ගස්ලන්ද ප්‍රදේශයේ ජනතාව රවටා මුදල් ලබා ගැනීමේ වංචනික ක්‍රියාවක නිරතවූ පුද්ගලයන් කණ්ඩායමක් අද (22) පස්වරුවේදී සැකපිට අත්අඩංගුවට ගත් බව රිදීගම පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පස්දෙනා මාතලේ සහ කුරුණෑගල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.

මොවුන් අතර තරුණ කාන්තාවක්ද සිටින බව පොලීසිය සඳහන් කළේය.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යනුවෙන් සඳහන් ස්ටිකර් මෙන්ම නාම පුවරුද ප්‍රදර්ශනය කෙරෙන වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී සැක සිතුනු ප්‍රදේශවාසීන් පිරිසක් මොවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී වංචනික ක්‍රියාව පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවී තිබේ.

පසුව මේ පිළිබඳව ඔවුන් ඉඩම් අමාත්‍යාංශ ලේකම් බුවනෙක හේරත් මහතාට දැනුම්දී ඇත. අනතුරුව ඒ පිළිබඳව තොරතුරු සොයා බැලූ අමාත්‍යාංශ ලේකම්වරයා මෙම පිරිස ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ නමින් පෙනී සිටින වංචනිකයින් පිරිසක් බව හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස රිදීගම පොලීසියට දන්වා ඇත.

සැකකරුවන් පිරිස ඉඩම් දෙපාර්තමේන්තුව බව සඳහන් ටී ෂර්ට් වලින්ද සැරසී සිට ඇති බවද කියයි. අත්අඩංගුවට ගෙන සිටින එක් පුද්ගලයෙකු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතලේ කාර්යාලයක සේවය කරන රජයේ නිලධාරියෙකු බවටද හඳුනාගෙන ඇත.