(පුෂ්පකුමාර ජයරත්න)

ජලය පිරුණු  බෝක්කුවකට ඇද වැටී පැයකට ආසන්න කාලය සිරවී සිටි  13 හැවිරිදි පාසල් ශිෂ්‍යයා මරණයට පත්ව ඇති බව කුරුණෑගල පොලීසිය පවසයි.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කුරුණෑගල මලියදේව ආදර්ශ මහා විද්‍යාලයේ නවය වසරෙහි අධ්‍යාපනය ලබමින් සිටි කුරුණෑගල ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචි සචිත්‍ර සේනාරත්න නමැති ශිෂ්‍යයෙකි. ඔහු තමන් පදිංචි නිවස ආසන්නයේදීම මෙම අනතුරට ලක්වී ඇත.

පාසල නිම වීමෙන් අනතුරුව නිවසට යාම සඳහා පාසලේ සිට ජයන්තිපුර ප්‍රදේශයට පිවිසෙන අතුරු මාර්ගයක ගමන් කරමින් සිටියදී ඔහු මෙම අනතුරට මුහුණපා ඇති බව පොලීසිය කියයි.

කුරුණෑගල බණ්ඩාරනායක විදුහලේ සිට සිසුන් ප්‍රවාහනය කරන වෑන් රථයකට ඉඩ දීම සඳහා මාර්ගය අයිනට වීමේදී ලිස්සා ගොස් ඔහු ඇල මාර්ගයට ඇද වැටී ඇති බව කියයි. ජල මාර්ගයේ ගසාගෙන ගොස් ඔහු බෝක්කුව තුළ සිරවී ඇත.