හර්ෂණ තුෂාර සිල්වා ත්‍රිකුණාමලයේ සිට
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී සිටින “යු.එස්.එන්.එස් මර්සි” නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය මේ දිනවල ත්‍රිකුණාමලය නගරය කේන්ද්‍ර කරගනිමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටී.
‘2018 ශාන්තිකර (පැසිෆික්) සහයෝගීතාව’ට සමගාමීව ඇමෙරිකා නාවික හමුදාවට අයත් මෙම නෞකාව ශ්‍රී ලංකාව ඇතුළු තවත් රටවල් 8ක සංචාරය කරයි. ඉන්දු ආසියානු හා ශාන්තිකර රටවල ප්‍රජා සමඟ සබඳතා ඇති කරගැනීම, වෛද්‍ය හා ඉංජිනේරුවල දැනුම හා තාක්ෂණික ශිල්ප ක්‍රමවේද හුවමාරු කරගැනීම මෙම නෞකාවේ සහ ‘2018 ශාන්තිකර සහයෝගීතාවයේ’ ප්‍රධාන අරමුණය.
ඒ අනුව නෞකාවේ කාර්යමණ්ඩලය, ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාව, ගුවන් හමුදාව සහ යුද හමුදාව ත්‍රිකුණාමලය නගරයේ රෝහල් සහ ශ්‍රී ලංකාව නාවික හමුදාව හා එක්ව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරයි.
මේ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ සිවිල් ඉංජිනේරු බලකාය හා එක්ව “යු.එස්.එන්.එස් මර්සි” නෞකාවේ කාර්ය මණ්ඩලය සහ ඇමෙරිකා එක්සත් ජනපද ත්‍රිවිධ හමුදා ක්‍රියාත්මක කරන ව්‍යාපෘති තුනක නිරීක්ෂණ සංචාරයක යෙදීමට අද අපට අවස්ථාව සැලැසිණි.
ආන්දම්කුලම ප්‍රදේශයේ මාතෘ සායනයක් සහ පෙර පාසලක් ද කප්පල්තුරයි ප්‍රදේශයේ ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකකය ප්‍රතිසංස්කරණය කිරීම හා හදිසි ප්‍රතිකාර ඒකකයක් ඉදි කිරීම එම ව්‍යාපෘති වේ.
කප්පල්තුරයිහි ඉදි කෙරෙන නව හදිසි ප්‍රතිකාර ඒකකය සහ එහි කලින් තිබූ ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකකය ප්‍රතිසංස්කරණය කිරීමෙන් කප්පල්තුරයි ප්‍රදේශයේ සිටින 400ත් 500ත් අතර ජනතාවකට වෛද්‍ය ප්‍රතිකාර සහ ඒ ආශ්‍රිත සේවා සලසා ගැනීමට අවස්ථාව උදා වේ. කප්පල්තුරයි පමණක් නොව විලන්කුලම්, සර්ධාපුර, මුත්තුනගර් සහ තාඹලගම යන ප්‍රදේශවල සිටින ජනතාවට ද මෙම වෛද්‍ය ප්‍රතිකාර ඒකකයෙන් සහ හදිසි ප්‍රතිකාර ඒකකයෙන් සේවා ලබාගැනීමට අවස්ථාව උදා වේ.
මේ සම්බන්ධයෙන් අප හා අදහස් දැක්වූ කප්පල්තුරයිහි රාමයියා සිවකුමාර් මහතා මෙසේ කීය.
“මේක බොහෝම හොඳ දෙයක්. අපිට හදිසියක් වුණත් ප්‍රතිකාර ගන්න කිලෝමීටර් 20කට වැඩි දුරක් යන්න ඕනේ. රෝහල් තියෙන්නේ බොහෝම ඈතින්. හදිසි ප්‍රතිකාර ඒකකයක් හදනවා. ඒ වගේම අපිට තිබුණු ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකකය සම්පූර්ණයෙන්ම අලුත්වැඩියා කරනවා. අපේ ගමේ අයට විතරක් නෙමෙයි, අවට ගම්මානවලට අයටත් මේකෙන් සෙත සැලසෙනවා”
මෙහි කටයුතුවල නිරත වී සිටින ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ “සීබීස්” ඒකකයේ ක්‍රිස්ටීන් මිලෝන් මහත්මිය මෙසේ කීවාය.
“ශ්‍රී ලංකාවට ඇවිත් සේවය කරන්න ලැබීම අපිට හොඳ අත්දැකීම්. ඒ වගේම අපි සතුටු වෙනවා. නාවික හමුදාවෙන් වගේම ගම්වාසීන්ගෙනුත් අපිට හොඳ සහයෝගයක් ලැබුණා. වෙනස් තත්ත්ව යටතේ වැඩ කිරීම එක්තරා විදියක අභියෝගයක්. ඒ වගේම අපි නාවික හමුදාව සමඟ බොහෝ දේවල් හුවමාරු කරගත්තා. අලුත් තාක්ෂණික ක්‍රම, විවිධ කුසලතා ආදී බොහෝ දේවල් හුවමාරු කරගැනීමට අපට අවස්ථාව ලැබුණා”.
එම ව්‍යාපෘතියට අමතරව තවත් ව්‍යාපෘති දෙකක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ආන්දම්කුලම් හි ක්‍රියාත්මක වේ.
ආන්දම්කුලම් හි පෙර පාසලක් සහ මාතෘ සායනයක් ද සම්පූර්ණයෙන් අලුත්වැඩියා කිරීම ඇමෙරිකා එක්සත් ජනපද ත්‍රිවිධ හමුදා සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සිවිල් ඉංජිනේරු බලකායේ සහයෝගයෙන් ක්‍රියාත්මක වේ. මෙම ව්‍යාපෘති දෙකෙන් ආන්දම්කුලම සහ ඒ අවට ගම්මානවල සිටින පවුල් 620කට ආසන්න පිරිසකට සේවා සහ පහසුකම් සැලසෙන බව ද අපට දැනගන්නට ලැබිණි.
මෙම ව්‍යාපෘති සියල්ලම ලබන මැයි 6 වැනිදා වන විට අවසන් කෙරෙන අතර නෞකාව පිටත්වීමට නියමිත මැයි 9 වැනිදාට පෙර කරප්පල්තුරයි ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකකය සහ හදිසි ප්‍රතිකාර ඒකකය, ආන්දම්කුලම පෙරපාසල සහ මෘතා සායනය ජනතාවට බාර දීමට නියමිතය.
ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පසුගිය වසරේදී නිකුත් කළ සමීක්ෂණ දත්තවලට අනුව නැගෙනහිර පළාත යනු ශ්‍රී ලංකාවේ සමස්ත දරිද්‍රතාවයට වැඩිම දායකත්වයක් සපයන තෙවැනි දිස්ත්‍රික්කයි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 14කි. එනයින් බලන කළ මෙරට තෙවැනි වැඩිම දරිද්‍රතාවයක් සහිත පළාත නැගෙනහිර පළාත ලෙස ද හැඳින්විය හැකිය.
දිස්ත්‍රික්ක වශයෙන් ගත්විට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සමස්ත දරිද්‍රතාවයට දක්වන දායකත්වය සියයට 4.7කි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජනගහනය 39,718කි.
වෛද්‍ය, ඉංජිනේරු හා ඉදිකිරීම් කටයුතුවලට අමතරව “යු.එස්.එන්.එස් මර්සි” නෞකාව” නාවිකයන් ඇතුළු පිරිස් ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව විවිධ ක්‍රීඩා, සංස්කෘතික හා විනෝදාස්වාදක වැඩසටහන් රැසක් ද පවත්වයි.
එහි එක් වැඩසටහනක් ත්‍රිකුණාමලය මෙතෝදිස්ත බාලිකා විද්‍යාලයේදී අද (4) පැවැත්විණි. ඊට ඒ ආසන්නයේ තිබෙන ශාන්ත මරියා සහ ත්‍රිකුණාමලය හින්දු විද්‍යාලයේ සිසු සිසුවියෝද සහභාගී වූහ.
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ‘යු.එස්. පැසිෆික් ෆ්ලීට්’ වාද්‍ය වෘන්දය සංගීත ප්‍රසංගයක් ඉදිරිපත් කළ අතර එහිදි ඔවුහු සිංහල ගීතයක් ද ගායන කළහ. ඉන් අනතුරුව ඉහත පාසල්වල සිසු සිසුවියෝ නාවික හමුදාව හා එක්ව විවිධ අංග ඉදිරිපත් කළහ.
සංඛ්‍යා දත්ත - ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව -
ඡායාරූප ප්‍රදීප් ප්‍රතිරණ






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් නේද?
මෙන්න හොඳ උදාහරණයක් රණ විරුවන්ට, මේවා තමයි ආරක්ෂක හමුදා කළ යුතු දේවල්...
අනේ, අයියලා නැතුව අපි කොහොමද අප්පා ජීවත් වෙන්නේ? අපේ රටට ඔන්න ඔහේ මොනවා හරි කරලා දාන්න.
ඇමෙරිකානු හමුදාව විසින් අද වනවිට දෙවන ලෝක යුද්ධයේ සිට අද දක්වා රටවල් 52ක් ආක්‍රමණය කර හෝ බෝම්බ දමා එම රාජ්‍යයන්හි ස්වෛරීත්වයට හානිකර ඇත. එම මැදිහත් වීම් නිසා සෘජුවම, මිලියන 14කට ආසන්න වැසියන් මරා දමා ඇත. එවැනි කෘෘර හමුදාවක් ලංකාවට එන්නේ අපගේ ආදරයට නොවන බව නම් කිව යුතුය. මේවා සෑදිය යුත්තේ ලංකාවේ නොව, දුප්පත් භාවය නිසා වෛද්‍ය පහසුකම් නොමැතිව වසරක් පාසා මියයන මිලියන ගණනක් ඇමෙරිකානුවන් වෙනුවෙනි. එසේත් නැත්නම්, දැනට වසර 100කට පමණ සිට තම යටත් විජිතයක් ලෙස පවත්වා ගෙන යනු ලබන පුවෙර්ටෝ රිකෝ මෙනිය. මන්ද, වසරක පමණ සිට එම ප්‍රාන්තයේ යටත් වැසියන්ට විදුලිය, රෝහල් හෝ පාසල් නැත. සියල්ලම විනාශව ඇත. එම යටත් විජිතයේ නිදහස වෙනුවෙන් අරගල කරන්නවුන් එක්කෝ ඇමෙරිකානු හමුදා විසින් ඝාතනය කරයි. නැතිනම් දීර්ඝ කාලීනව හුදකලාවම සිරගත කරයි.