ඇමෙරිකාවේ ඕනෑම ආක්‍රමණශීලී ක්‍රියාවකට මුහුණ දීමට තමන් සූදානම් බව කියුබාව පවසයි. කියුබා රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඇමෙරිකන් ආක්‍රමණයකට මුහුණ දීමට කියුබා හමුදාව මේ වනවිට සීරුවෙන් තබා ඇති බවය.

ඉරාන අර්බුදය අවසන් වුණු සැණින්, තමා කියුබාවට අත ලබන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. ඇමෙරිකාවේ ඕනෑම ආක්‍රමණශීලී ක්‍රියාවකට මුහුණ දීමට සූදානම් බව කියුබා රජය පවසා ඇත්තේ ඊට ප්‍රතිචාර දක්වමිනි.

කියුබා හමුදාව ද අවධාරණය කර ඇත්තේ, තම සෙබළුන් ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක විය හැකි පරිදි ඉහළම සන්නද්ධ මට්ටමක පසුවන බවය. 

කියුබාව දැඩි විදුලි අර්බුදයකට මුහුණ දෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සතියක් ඇතුළත දෙවන වරට සිදුවූ දෙවන විදුලි බිඳ වැටීම මෙය බවය. 

රටේ ජාතික විදුලිබල පද්ධතිය බිඳ වැටීම හේතුවෙන් එරට ජීවත් වන මිලියන 10කට වැඩි පිරිසක් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි පෙවැසෙයි. 

කියුබානු බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ රෝහල් සහ ජල සම්පාදන පද්ධති ඇතුළු අත්‍යවශ්‍ය සේවාවලට ප්‍රමුඛතාවය දෙමින් ක්‍රමයෙන් විදුලිබලය යථා තත්ත්වයට පත් කරමින් සිටින බවය. ඇමෙරිකාවේ සම්බාධක හේතුවෙන්, ඉන්ධන අවහිර කිරීම් හමුවේ විදුලි බලාගාර පවත්වාගෙන යාමට අවශ්‍ය තෙල් ආනයනයට බාධා එල්ල වීම මෙම විදුලි අර්බුදයට හේතුව බව පැවැසෙයි.