(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ බුද්ධික කුමාරසිරි)

බොරලැස්ගමුව බෙල්ලන්විල ආපනශාලාවක හිමිකරුට වෙඩි තබා ඝාතනය කර පලා යමින් සිටි වෙඩික්කරු සහ පැදිකරු වෙඩි ප්‍රහාරයෙන් පැයකට පසු අත්අඩංගුවට ගත් බව නවගමුව රණාල සුසානභූමිය අසලදී නවගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. ඒ. සි. ජයනාත් මහතා පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අතර හිටපු හමුදා සෙබළකු සිටින බව පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් ගගේ යාය කෝට්ටපිටි සහ ඔරුබැදි සයඹලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන වයස අවුරුදු 28 සහ 38  හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි

එම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී යතුරුපැදියේ පසු පැදිකරු සිටි බව පොලිසිය කියයි.

අදාල වෙඩි තැබීම සිදු වීමත් සමග ක්ෂණික හදිසි බාධක යොදා සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර එහිදී සැකකටයුතු ආකාරයෙන් යතුරු පැදියෙන් යමින් සිටි පුද්ගලයන් දෙදෙනකු පිලිබදව සැක සිතී ⁣කිලෝමීටර් දෙකක් පමණ පසු පසින් ගොස් බැලීමේදී එම සැකකරුවන් දෙදෙනා රණාල පොදු සුසාන භූමිය අසල අදාල යතුරු පැදිය නවත්වා මුහුණු ආවරණ (මාස්ක්) ගලවා අත් දෙකට පැළද තිබූ මේස් ගලවා කලු පැහැති හෙල්මට් දෙකත් ගලවා සුසාන භූමිය අසල දමා යතුරුපැදියත් නවත්වා පා ගමනින් පලා යමින් සිටියදී අත් අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී දෙදෙනාම සතුව අයිස් මත්ද්‍රව්‍ය තිබී හමු වී ඇත.

පසුව ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී අදාල වෙඩි තැබීම පිලිබදව දුරකතන ඇමතුම් හඬ පණිවිඩ තිබූ බවද පොලිසිය පවසයි.

වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ ආපනශාලාවේ හිමිකරු වන මල්ලව ආරච්චිගේ නෙල්සන් සුදත් අමරසිංහ නැමැති 55 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කොස් මල්ලී නැමැත්තාගේ දුරින් ඥාතියෙකි.

ස්කූටි වර්ගයේ යතුරු පැදියකින් පැමිණි වෙඩික්කරු සහ පැදිකරු ව්‍යාපාරිකයා අවන්හල ඉදිරිපිට රැඳී සිටියදී වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කර පලා ගොස් තිබිනි.

බරපතල තුවාල ලද ව්‍යාපාරිකයා කළුබෝවිල ශීක්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව හදිසි ප්‍රතිකාර ඒකකයේදී මිය ගියේය.ෙ

වෙඩි ප්‍රහාර කිහිපයක් ආපනශාලා හිමිකරුගේ මෝටර් රථයටද එල්ල වී ඇතැයි පොලිසිය කියයි.

මෙම වෙඩි ප්‍රවාහරය කොස්මල්ලිගේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය වන සැන්ඩෝ හෝ අසංඛ යන පාර්ශවය විසින් සිදු කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

(ඡායා බුද්ධික කුමාරසිරි)