(අංජුල මහික වීරරත්න)

පොදුරාජ්‍ය මණ්ඩල නීතිඥ සංවිධානයට අපහාස වන ලෙස ආණ්ඩුවේ උදවිය කතා කිරීමෙන් රටට අගතියක් සිදුවන බව ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

ලංකා ආර්ථිකය ගොඩ නැගීමට විදේශීය සංවිධාන වලින්  උපකාර ලැබුණේ නැද්දැයි ප්‍රශ්න කළ පීරිස් මහතා ලෝකයේ හුදෙකලාව ජීවත් වීමට අපිට ශක්තියක් තියෙනවාදැයි විමසීය.

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ජී.එල් පීරිස් මහතා මෙසේද කීය.

අධිකරණ අමාත්‍යවරයා පොදු රාජ්‍ය මණ්ඩල නීතිඥ සංවිධානයට ප්‍රහාරයක් එල්ල කිරීම  පුවත්පත් වල ප්‍රධාන ප්‍රවෘත්තිය බවට පත්ව තිබෙනවා.ඉතාමත් අපහාසාත්මක ලෙස අධිකරණ ඇමතිවරයා පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය ගැන කතා කරනවා. ඒක ප්‍රයිවට් ක්ලබ්  එකක්ලු. ඒකට බැඳෙන්නේ සල්ලි ගෙවලලු. අන්න ඒ විදියට ඉතාමත් සැහැල්ලුවට ලක් කරලා තමයි අධිකරණ ඇමතිවරයා ලෝකය පිළිගත් මේ සංවිධානය ගැන පාර්ලිමේන්තුවේ කතා කළේ. 

මේ සංවිධානය කිසිසේත් ප්‍රයිවට් ක්ලබ් එකක් නොවෙයි. පොදු රාජ්‍ය මණ්ඩලයේ සියලු රටවල්වල නීතිඥ වෘත්තිය, නීතිඥ වෘත්තිකයින් නියෝජනය කරන ජගත් ගෞරවයට පාත්‍ර වෙලා තිබෙන සංවිධානයක් තමයි, පොදුරාජ්‍ය මණ්ඩලීය නීති සංගමය යනුවෙන්ද ජී.එල් පීරිස් මහතා කීය.