ඌව පළාත් සභා මහ ඇමැති ලෙස හරීන් ප්‍රනාන්දු මහතා දිවුරුම් දීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නීති විරෝධී යැයි කියමින් ඌව පළාත් සභා ඇමැති චාමර සම්පත් දසනායක ඇතුළු පිරිසක් ඌව ආණ්ඩුකාර කාර්යාලයට ගොස් ආණ්ඩුකාර නන්ද මැතිව් මහතාට තර්ජනය කළැයි එහි නිලධරයෝ කියති.

පළාත් සභා මන්ත්‍රී එම්.පී.ලීලසේන හා මීගහකිවුල ප්‍රාදේශීය සභා මන්ත්‍රී රංගන මදුමාල් යන මහත්වරුන්ද සමග දසනායක මහතා ඊට පෙර බදුල්ල බස් නැවතුම අසල මාර්ගයේ බිම වාඩිවී විරෝධය දැක්වීය.

බදුල්ල උප නගරාධිපති නාලක නිශාන්ත විජේරත්න සහ මීගහකිවුල ප්‍රාදේශීය සභා සභාපති ජයන්ත දිසානායක ඇතුළු සන්ධාන ආධාරකරුවෝ පිරිසක්ද එයට එක්වූහ.

ඔවුහු පැයක පමණ විරෝධයෙන් පසු ඌව පළාත් ආණ්ඩුකාර නන්ද මැතිව් මහතාට පාගමනින් ගොස් සංදේශයක් බාරදීමට උත්සාහ කළද ආණ්ඩුකාරවරයා එය ප්‍රතික්ෂේප කළ අතර ඔවුන් සමග ගිය ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතා නීති තර්ක ඉදිරිපත් කිරීම නිසා උණුසුම් තත්ත්වයක් ඇති විය. චාමර සම්පත් මහතා තර්ජනාත්මක ස්වරයකින් කථා කිරීම හේතුවෙන් ඔවුනට කාර්යාලයෙන් පිටවන ලෙස ආණ්ඩුකාරවරයා නියෝග කළේය. තමා වැරදි තීරණයක් ගෙන ඇත්නම් උසාවි මාර්ගයෙන් විසඳා ගන්නා ලෙසද මැතිව් මහතා පැවසීය.

ආණ්ඩුකාර කාර්යාලයෙන් එළියට පැමිණි චාමර සම්පත් මහතා කියා සිටියේ ආණ්ඩුකාරවරයා තමාට අයුතු ලෙස කථාකර බලපෑම් කළ බවයි. ආණ්ඩුකාරවරයාගේ පිස්තෝලයක් අතැතිව සිටි ආරක්ෂකයකු තමාට ඇතුළට යාමට ඉඩ නොදුන් බවද ඔහු කීවේය.

බදුල්ල පොලිසිය සඳහන් කළේ ආරක්ෂකයකු එහි නොසිටි බවයි. පිස්තෝලයක් තිබූ බවටද තොරතුරු නැතැයි පොලිසිය පවසයි.

282 283 DSC00103