(මනෝප්රිය ගුණසේකර)
මාතලේ විජය විද්‍යාලයේ පළමු වසරට සිසුවකු ඇතුළත් කරගැනීම සඳහා රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 1 1/2ක් ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකාරිය වු එම විද්‍යාලයේ හිටපු විදුහල්පතිනියට වසර 20ක සිරදඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඇයට රුපියල් 20,000/- ක දඩයක් ද නියම කළේය.
2014 වසරේදී මාතලේ විජය විද්‍යාලයේ පළමු වසරට සිසුවකු ඇතුළත් කරගැනීම සඳහා දරුවාගේ පියාගෙන් ලබා ගන්නා ලද රුපියල් ලක්ෂ 1 1/2ක අල්ලස් මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද විනිසුරුවරයා නියම කළේය.
චෝදනාවන්ට වරදකාරිය වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ මාතලේ විජය විද්‍යාලයේ 2014 වසරේදී විදුහල්පතිනිය ලෙස කටයුතු කළ කළුආරච්චිගේ දයාවතී (47) මහත්මියටය.
2014 පෙබරවාරී මස 08 වැනිදා මාතලේ දී මාතලේ විජය විද්‍යාලයේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරමින් සිටියදී එම විදුහලේ පළමු වසරට සිසුවකු ඇතුළත් කරගැනීම සඳහා දරුවාගේ පියාගෙන් රුපියල් ලක්ෂ දෙකක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 1 1/2ක් ලබා ගන්නා ලදැයි චෝදනා හතරක් යටතේ විත්තිකාරියට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබිණි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා විත්තිකාරියට එරෙහි සියළුම චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළේය.
විත්තිකාරියට එරෙහි චෝදනාවන් පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇති හෙයින් චෝදනා හතරටම ඇය වරදකාරිය බවද විනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමසමේ සහකාර අධ්යක්ෂ නීතීඥ චන්ද්‍රිකා ජයසේකර මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් දරුවන් පාසලට ඇතුලත් කර ගැනීම සඳහා අල්ලස් ගැනීම මේ වන විට අප රටේ එක්තරා කලාවක් වී ඇතැයි කීවාය.
අල්ලස් ගැනීම සමාජය වෙළාගත් පිළිලයක් බවට පත්ව ඇතැයි කී අල්ලස් කොමසමේ සහකාර අධ්යක්ෂ නීතීඥ චන්ද්‍රිකා ජයසේකර මහත්මිය සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකාරියට නියම කරන්නැයි ඉල්ලා සිටියාය.
ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකාරියට එක් චෝදනාවකට වසර 05 බැගින් චෝදනා හතරට වසර 20ක
සිරදඬුවමක් නියම කර එය වසර 05ක කාලයකින් ගෙවෙන ලෙස නියම කළ අතර විත්තිකාරියට එක් චෝදනාවකට රුපියල් 5,000/- බැගින් චෝදනා හතරට රුපියල් 20,000/- ක දඩයක්ද නියම කළේය.
අල්ලස් වශ්‍යයෙන් ගත් රුපියල් ලක්ෂ 1 1/2ක මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීම නියම කළ විනිසුරුවරයා දඩ මුදල් හා දණ්ඩන මුදල නොගෙවුව හොත් අමතර වසර 05ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්ද නියම කළේය.
අල්ලස් කොමසමේ පොලිස් පරීක්ෂක අබේසිංහ මහතා විසින් මෙම සිද්ධියට අදාළ වැටලීම සිදුකර විත්තිකාරිය අත්අඩංගුවට ගෙන තිබු අතර පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමසමේ සහකාර අධ්යක්ෂ නීතීඥ චන්ද්‍රිකා ජයසේකර මහත්මිය අධිකරණයේ පෙනී සිටියාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා. බොහොම අගෙයි. මේ වගේම බයිසිකලයෙන් පාර්ලිමේන්තුවට ඇවිත් දැන් කොළඹ සුඛෝපභෝගී නිවාස අයිති කෝටිපතියෙක් වෙලා ඉන්න කෙනා ගැන හරි කෝච්චියේ මාල කඩපු දැන් ප්‍රකෝටිපතියෙක් වෙලා ඉන්න කෙනා ගැන හරි ඡන්දෙ කාලේ පිටරට ඉඳලා දිනුවට පස්සේ ලඟට කිට්ටුවෙලා අවුරුදු දෙක තුනක් යනකොට කොළඹ සුපිරි නිවාස හදලා කෝටි ගණන්වලට විකුණන්න පිටරට පත්තරවල දැන්වීම් දාන අතිවිශේෂ උපදේශකවරු ගැන හරි මෙකී නොකී නොසණ්ඩාලයෝ ගැන හරි තීන්දු දෙන්න මේ වගේ උනන්දුවක් නැත්තේ මොකද කියලා තමයි හන්දියේ කඩේ ළඟ පරණ ලෑල්ලේ දාන් අදින ගමන් කට්ටිය කතාවෙන්නේ...
ඉතා විශිෂ්ඨ තීන්දුවක්...
ඔය එක එක්කෙනාගේ කුණු හෝදන්න දඟලන්නේ නැතිව මේ තීන්දුවට ප්‍රසිද්ධියක් දෙන්න. අඩුම ගානේ ඔප්පු වූ නඩුවක් නිසා මේක හොද පූර්වාදර්ශයක් වේවි !!!
පව් වැඩේ, අහුවෙලා තියෙන්නේ හාල් මැස්සෙක්ව තෝරු, මෝරු මෙහෙ පිනුම් ගහනවා. අපි විසිල් ගහගහ බලාගෙන ඉන්නවා.
ලොකුම පාසැල්වල මේ වගේ නීති නැද්ද? එක් උසස් විද්‍යාලයක අල්ලස් ගත් කෙනා තවත් ලොකු එකක විදුහල්පති වෙන්නේ කොහොමද?
ඉතාම හොඳ නඩු තීන්දුවක්... හුඟක් විදුහල්පතිවරු අල්ලස් ගන්නවා...
මේ වගේ නීතිය පොඩි අයට අකුරටම ක්‍රියාත්මක වෙන රටක් ලෝකේ වෙන කොහේ ඇතිද? ඒ අතින් ලෝකයේම පලවෙනි තැන හිමිවෙන්න ඕනි අපිට.
මේ නඩු තීන්දුව ගැන අදහස් දාන්න ටිකක් ඉක්මන් උනා වැඩියි කියලයි මට හිතෙන්නේ. මොකද මේ විත්ති කාරියට නීතියෙන්ම ප්‍රතිපාදන සලස්වලා තියනවා ඇගේ නඩු තීන්දුවට එරෙහිව ඇපැල් ගැනීමට අවස්ථා දෙකක් ලැබෙන විධියට. මුලින්ම අභියාචනා අධිකරණයට යන්න පිළිවන්. එහිදී ඇයට අවාසි දායක තීන්දුවක් ලැබුනොතින් එයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ත් යන්න පිළිවන්.
ලක්ෂ 1 1/2 ට අවුරුදු 20ක් හිරේ නම්.....මහ බැංකුව කඩපු එවුන්ගෙන් මිලියන 165 ක ගෙයක් පගාවට ගත්ත කෙනාව ජීවිත කාලයේම හිරේ යවයිද? නැත්නම් නීතිය නවයිද?
රාජ්‍ය ආයතන වලින් 95% කම අල්ලස නැත්නම් සාමාන්‍ය මනුස්සයෙකුට යම් කිසි දෙයක් කරගන්න පුළුවන් කමක් නැහැ. විශේෂයෙන්ම නගර සභා වගේ තැන්... හැමෝටම මේ වගේ වුනා නම් ලංකාව තව ඉස්සරහට යනවා. නඩුකාර තුමියට ජයවේවා!!!.
විදුහල්පතිතුමියට ඔහොම නම් හිටපු රාජපක්ෂලාට බැඳුම්කර හොරුන්ට මොනවද කරන්න ඕනේ.. මට හිටගන්න බැහැ. මොකද පොඩි වැරදිවලට හිරේ යනවා. ලොකු අය අපෙන් කකා එල්ලිලා ඉන්නවා.. යකාට ගිය පාර්ලිමේන්තුවක්..
ලංකාවේ වැඩියෙන්ම තියෙන දූෂිත ආයතන වලින් එකක් තමයි කස්ටම් එක. ඒකේ ඉන්න සියයට 95ක්ම අල්ලස් ගන්නවා ඕනෑම වැඩකට... කරුණාකර මේ ගැනත් සොයා බලන්න.
හොර කන තෝරු මෝරු වර්ණනා කර කර ඉන්න අපි.......හාල් මැස්සෙක් අල්ලා ගත්තම ගොඩක් සන්තෝස වෙනවා රට දැන් යන්නේ හරි අතට කියල. අනේ පව් අපි.
ගුරුවරයෙක් වෙලා හොර කන්න බැහැ......... එහෙම කරන්න ඕනි නම් කොහොම හරි හිරෙන් නිදහස් උනාම ඡන්දෙ ඉල්ලන්න. එතොකොට හරි. වැරදීමක් උනොත් අඩු තරමේ රෝහලටවත් ඇතුල් වෙන්න පුළුවන් වේවි.
ගුරු වෘර්තියටත් කැළලක් !!!!!!!!!!!!!!!!!!
හොඳ දෙයක්, වරද කවුරු කලත් වරදමයි, නමුත් සමහරු අතුරු තහනම් නියෝග ගනිමින් සැපසේ ඉන්නව... ' පහත් තැනින් යයි ගලා ජලේ, වේගයේන්.. පහත් තැනින් යයි ගලා ජලේ '