(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පස්වන සහ සයවන සමාලෝචනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් කතානායක, නියෝජ්‍ය කතානායක සහ පක්ෂ නායකයින් සමග පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සාකච්ඡා පැවැත්වූහ.

එම සමාලෝචනය මාර්තු 26 සිට අප්‍රේල් 8 දක්වා පැවැත්වීමට නියමිතය.

නියෝජිත පිරිසට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය අංශ ප්‍රධානී එවන් පැපජෝර්ජියෝ මහතා සහ එහි ජ්‍යෙෂ්ඨ ආර්ථික විශේෂඥයෝ පිරිසක් ඇතුළත් වූහ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධන ක්‍රියාවලියේදී දුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව කතානායකවරයා එහිදී සිය කෘතඥතාව පළ කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහන සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ කැපවීම නැවත තහවුරු කළ කතානායක ශක්තිමත් මූල්‍ය ප්‍රතිපත්ති පවත්වාගෙන යාමේ වැදගත්කමද අවධාරණය කළේය.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත සහ දූෂණ විරෝධී පනත වැනි ප්‍රධාන නීති සම්පාදන පියවර, මූල්‍ය විනය සහ යහපාලනය සහතික කිරීම රාජ්‍ය මූල්‍ය විනිවිදභාවය ශක්තිමත් කිරීම සහ අල්ලස හා දූෂණය මුලිනුපුටා දැමීම සඳහා ශක්තිමත් පියවර ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බවද කතානායකවරයා සදහන් කළේය