(විමුක්ති එස්. රුද්‍රිගු)

ඉරාන නෞකාවක් ශ්‍රී ලංකාවේ භෞමික මුහුදු සීමාව ආසන්නයේදී අනතුරට පත්ව එහි නාවිකයන්ගේ ජීවිත අවදානමට ලක්වූ අවස්ථාවේදී ජාත්‍යන්තර නීතිය සහ මානුෂීයත්වය මත පදනම්ව ඔවුන් බේරා ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළ බව විදේශ කටයුතු, අමාත්‍ය විජිත හේරත් මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වැනි සැසිවාරයේ මහ සභා විවාදය අමතමින් ඊයේ (28) ප්‍රකාශ කළේය.

එම ඉරාන නෞකාව පසුගිය මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ භෞමික මුහුදු සීමාව ආසන්නයේදී අනතුරට පත්ව තිබූ බවත්, එහි නාවිකයන් රැසකගේ ජීවිත අවදානමට ලක්ව තිබූ අවස්ථාවේදී සීමිත ජාතික සම්පත් යොදා ගනිමින් තුවාල ලැබූ සහ රෝගී නාවිකයන්ට ප්‍රතිකාර සහ රැකවරණය ලබාදෙමින් ඔවුන් බේරා ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කළ බවත් වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු එහිදී පැවසීය.

ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථභාවය ආරක්ෂා කරගනිමින් ඇමෙරිකාවේ හෝ ඉරානයේ පැත්තක් නොගනිමින් මානුෂීයත්වයට ප්‍රමුඛත්වය ලබාදුන් බවත්, ජාත්‍යන්තර නීතිය සහ මානුෂීයත්වය මත පදනම්ව මිනිස් ජීවිත බේරා ගැනීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මැද පෙරදිග පවතින යුදමය වාතාවරණය ශ්‍රී ලංකාවට ආරක්ෂක, ආර්ථික සහ සමාජීය බලපෑම් ඇති කරන බවත්, ඉන්දියානු සාගරයේ පිහිටි දූපත් රාජ්‍යයක් මෙන්ම ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් මැද පෙරදිග කලාපයේ රැකියා කිරීම එලෙස බලපෑම් එල්ලවීමට හේතුවක් බවත් හේරත් මහතා පැවසීය.

දශක තුනක් පුරාවට ශ්‍රී ලංකාවට බලපෑ සන්නද්ධ ගැටුමෙන් සියලු ප්‍රජාවන්ට දැඩි හානි සහ දුක්විඳීම් සිදුවූ බවත්, එම ගැටුම අවසන් වී වසර 17ක් ගතවී ඇතත් එහි ගැඹුරු තුවාල තවදුරටත් පවතින බවත් ඔහු සඳහන් කළේය.

එවැනි ඛේදවාචකයක් යළි ඇතිවීම වැළැක්වීමට සහ ජාතික සමගිය හා සංහිඳියාව කරා ශ්‍රී ලංකාව ගමන් කරවීමට රජය අධිෂ්ඨානශීලීව කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.

මේ අතර, 2030 වසර වන විට ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමටත්, 2050 වසර වන විට කාබන් විමෝචනය ශුන්‍ය මට්ටමට ළඟා කර ගැනීමටත් ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බව විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකාව සාර්ව ආර්ථික ස්ථාවරත්වය යළි ඇති කරගෙන ඇති බවත්, ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන ආර්ථිකයක් ලෙස නැවත වර්ගීකරණය කර ඇති බවත් ඔහු පැවසීය.

කෙසේ වෙතත්, ණය බර සහ බාහිර ආර්ථික බලපෑම් හේතුවෙන් රටවල් තවදුරටත් අවදානමට ලක්ව ඇති බවත්, ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගනිමින් ජනතාව මුහුණ දෙන දුෂ්කරතා විසඳීමට එම රටවල් අවධානය යොමු කළ යුතු බවත් හේරත් මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව මෑත ඉතිහාසයේ රට මුහුණ දුන් දරුණුතම ස්වභාවික ආපදාවලින් එකක් බවත්, එම ආපදාවෙන් පුද්ගලයන් සිය ගණනක් මියගොස් මිලියන දෙකකට වැඩි පිරිසක් බලපෑමට ලක්වූ බවත් ඔහු පැවසීය.

ඊශ්‍රායලය අත්පත් කරගෙන ඇති පලස්තීන ප්‍රදේශ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැඩි කනස්සල්ලෙන් පසුවන බවත්, පලස්තීන ජනතාවගේ ස්වයං නිර්ණය ඇතුළු අහිමි කළ නොහැකි අයිතිවාසිකම් සඳහා ශ්‍රී ලංකාව තවදුරටත් සහාය දක්වන බවත් හේරත් මහතා පැවසීය. ඊශ්‍රායලය සමඟ සාමයෙන් පැවතිය හැකි ස්වාධීන හා ස්වෛරී පලස්තීන රාජ්‍යයක් ස්ථාපිත කිරීම සඳහා ශ්‍රී ලංකාව සහාය දක්වන බවද ඔහු සඳහන් කළේය.

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා 1957 වසරේ සිට ශ්‍රී ලංකාව පුද්ගලයන් 21,000කට වැඩි පිරිසක් යොදවා ඇති බවත්, ඔවුන් ගැටුම් පවතින ප්‍රදේශවල සිවිල් ජනතාව ආරක්ෂා කිරීම, ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සහ ගැටුම්වලින් පසු ස්ථාවරත්වය ඇති කිරීමට දායක වී ඇති බවත් ඔහු පැවසීය.

න්‍යෂ්ටික අවි සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පූර්ණ හා සත්‍යාපනය කළ හැකි නිරායුධකරණයක් සඳහා තවදුරටත් සහාය දක්වන බවත්, ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම සහ සංවර්ධනය වෙමින් පවතින රටවල ණය හා සංවර්ධන මූල්‍යකරණය සඳහා වඩාත් සාධාරණ නීති රීති අවශ්‍ය බවත් විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

තිරසර සංවර්ධනය සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවල පවතින ඩොලර් ට්‍රිලියන හතරක මූල්‍ය හිඟය පියවීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවද ඔහු සඳහන් කළේය.

දූෂණ විරෝධී ක්‍රියාමාර්ග සහ ආයතනික විනිවිදභාවය රජයේ ජාතික අඛණ්ඩතා වැඩපිළිවෙළේ ප්‍රධාන අංගයක් බවත්, දූෂණ සම්බන්ධ විමර්ශන සහ නඩු පැවරීම් දේශපාලන මැදිහත්වීමකින් තොරව සිදුවන බවත් ඔහු පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි ජාතික වැඩසටහන යටතේ මත්ද්‍රව්‍ය සැපයුම් දාමයේ ප්‍රධාන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ඇතුළු සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බවද ඔහු සඳහන් කළේය.

කෘත්‍රිම බුද්ධිය ඇතුළු නව තාක්ෂණයන් වගකීමෙන් සහ ජාත්‍යන්තර නීතියට අනුකූලව සංවර්ධනය කර භාවිත කළ යුතු බවත්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර රාමු සමඟ අනුකූල ජාතික කෘත්‍රිම බුද්ධි ආචාරධර්ම මාර්ගෝපදේශ සකස් කර ඇති බවත් විදේශ අමාත්‍යවරයා පැවසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන UN80 මුලපිරීමට ශ්‍රී ලංකාව සහාය දක්වන බවද ඔහු ප්‍රකාශ කළේය.

ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ පවතින ගැටලු කිසිදු රටකට තනිව විසඳිය නොහැකි බැවින් බහුපාර්ශ්විකවාදය කෙරෙහි නව විශ්වාසයක් ඇති කර ගනිමින් සියලු දෙනා වෙනුවෙන් ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ සංවිධානයක් ගොඩනැගිය යුතු බව විජිත හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.