(ශ්රී ලංකාවේ මිරිදිය මසුන් හා ශ්‍රී ලංකාව අවට මුහුදේ වාසය කරන මාළු පිළිබඳ විස්තරාත්මක ලිපි පෙළක ආරම්භය.)
කළු ඉරි රන්වන් හල්මල් දණ්ඩියා යනු මෙරට සිටින මිරිදිය මත්ස්‍යයන් අතර ඉතා දුර්ලභ එමෙන් ම වඳවීයාමේ දැඩි තර්ජනයකට ලක්ව සිටින මාළුවෙකි. වර්තමානයේ මතුගම අත්වැල්තොටින් පමණක් හමුවන මේ මත්ස්‍ය විශේෂය හඳුනාගැනීම සම්බන්ධයෙන් ඇත්තේ අපූරු කතාවකි.
හල්මල් දණ්ඩියා නමැති සත්ත්ව විශේෂය මුල්වරට හඳුනාගෙන ඇත්තේ මෙරට ප්‍රකට සත්ත්ව විද්‍යා පර්යේෂකයකු වූ පී.ඊ.පී.දැරණියගල මහතා විසිනි. ඒ 1930 වර්ෂයේ ගිලීමලේ රක්ෂිතයේ ඇල මාර්ගයකිනි. එකළ රැස්බොරා වෙටරිෆ්ලෝරිස් (Rasbora vaterifloris) ලෙස හල්මල් දණ්ඩියා සත්ත්ව විද්‍යාත්මකව නම්කැර තිබිණි.
ඉතා සුන්දර මාළුවකු වූ හල්මල් දණ්ඩින් එකළ ශ්‍රී ලංකාවෙන් විදේශ රටවලට අපනයනය කෙරුණි. මෙලස මෙරට සිට 1957 වර්ෂයේ දී ජර්මනියට ගෙන ගිය හල්මල් දණ්ඩි කිහිප දෙනකු අතර වෙනස් ස්වරූපයක් ගන්නා මාළුවකු සිටින බව දුටු ජර්මන් ජාතික සත්ත්ව විද්‍යා පර්යේෂක වින්කින් මහතා ඒ මාළුවා ගැන පර්යේෂණයක් කරමින් කියා සිටියේ එම මාළුවා මෙතෙක් හඳුනාගෙන සිටි රැස්බොරා වෙටරිෆ්ලෝරිස් Rasbora vaterifloris හෙවත් හල්මල් දණ්ඩියා යන මාළුවාගෙන් වෙනස් වූ සත්ත්ව විශේෂයක් බවයි.
ඒ අනුව වින්කින් විසින් සොයාගත් මාළුවාට රැස්බොරා යන ඝන නාමය යටතේ ම රැස්බොරා නිග්‍රොමාජිනාටා Rasbora nigromarginata යන නම ලැබිණි. එසේ වුව ද මේ මාළුවා ශ්‍රී ලංකාවේ කවර ප්‍රදේශයකින් අල්ලාගත් සත්ත්වයකු ද යන්න පිළිබඳ සොයාගත නොහැකි වූ බැවින් වැඩි දත්ත ප්‍රමාණයක් හෙලිදරව්කැර ගත නොහැකි විය.
පසු කළෙක සත්ත්ව විද්‍යාඥයෝ රැස්බොරා Rasbora යන ඝන නාමය රැස්බොරයිඩස් Rasborides ලෙස වෙනස් කැර තිබිණි. ශ්‍රී ලංකාවේ ස්ථාන රැසකින් මේ මත්ස්‍යයා ගැන සොයා බැලුව ද දශක ගණනාවක් යනතුරු එවැනි මාළුවකු හමු නොවූ බැවින් රැස්බොරයිඩස් නිග්‍රොමාජිනාටා Rasborides nigromarginata මෙරට සත්ත්ව නාමලේඛණයෙන් ඉවත් කැරිණි.
ගාල්ල වනජීවී සංරක්ෂණ සංගමය ශ්‍රී ලංකවේ මිරිදිය මසුන් පිළිබඳ දීප ව්‍යාප්ත ගවේෂණයක් ආරම්භ කරන ලදී. එහි පර්යේෂකයේ 2011 වර්ෂයේ දී මතුගම අත්වැල්තොට ගවේෂණයක නිරතවෙමින් සිටිය දී හමුවූ හල්මල් දණ්ඩි පරීක්ෂා කිරීමේ දී පෙනී ගියේ වසර 54ක කාලයක් ලෝකයෙන් වසන් වී සැඟවී සිටි රැස්බොරා නිග්‍රොමාජිනාටා ලෙස නම්කැර තිබී පසුව රැස්බොරයිඩස් නිග්‍රොමාජිනාටා ලෙස නම්කරන ලද මත්ස්‍ය විශේෂය එම ස්ථානයේ සිටින බවයි. ඒ වනවිට මේ මාළුවා මෙරට සත්ත්ව ලේඛණයෙන් ඉවත්කැර තිබීම ද විශේෂත්වයකි.
අත්වැල්තොටින් හමුවූ හල්මල් දණ්ඩියා ගිලීමලෙන් හමුවූ හල්මල් දණ්ඩියා හෙවත් රැස්බොරයිඩය් වෙටරිෆ්ලෝරිස් Rasbora vaterifloris නමැති සත්ත්වයාට බොහෝ සෙයින් සමාන වුව ද වෙනත් විශේෂයකි. රැස්බොරයිඩස් නිග්‍රොමාජිනාටා ලෙස ජර්මනියේ වින්කින් මහතා විසින් මේ සත්ත්වයා හඳුන්වා ඇත්තේ වරළේ පිහිටි පැහැදිලි කළු පැහැති රේඛාවක් හේතුවෙනි. මේ මත්ස්‍යයා ගිලී මලේ ප්‍රදේශයෙන් හමුවන හල්මල් දණ්ඩියාට වඩා තරමක් රන්වන් පැහැතියි.
ඒ හේතුවෙන් පර්යේෂකයෝ රැස්බොරයිඩස් නිග්‍රොමාජිනාටා නමැති මත්ස්‍යයාට කළු ඉරි රන්වන් හල්මල් දණ්ඩියා නමැති සිංහල නම යොදා ඇත. පරිසරවේදීන් පවසන්නේ කළු ඉරි රන්වන් හල්මල් දණ්ඩියා දැඩි සේ වඳවී යාමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව විශේෂයක් බවයි.
වනාන්තර විනාශ කිරීම්, ඇළ දොළ ගංඟා ඉවුරු විනාශ කිරීම හා කෘමි නාශක භාවිතය මේ සතුන්ගේ පැවැත්මට දැඩි තර්ජනයකි.
රැස්බොරයිඩස් නිග්‍රොමාජිනාටා හෙවත් කළු ඉරි රන්වන් හල්මල් දණ්ඩියා
මිරිදිය මසුන් ගැන පරික්ෂණ සිදුකරන ආකාරය
කළු ඉරි රන්වන් හල්මල් දණ්ඩියා සොයාගත් අත්වැල්තොට



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ජෛව විවිධත්වය විනාශ කරලා.අපේ ඇළදොළ වලට වස විස එකතු කරලා. කර්මාන්තවල අපද්‍රව්‍ය කුඹුරු වෙල් වලට හරවලා. මෙම ජීවීන් විනාශවෙලා ගිහින් අපේ ඊළඟ පරම්පරාවල දරුවන්ට දැකගන්න කුඹුරක්, කමතක් නැතිවෙයි. ඇළක් දොළක බැහැලා සෙල්ලම් කරන්න වෙන්නේ හීනෙන් තමයි (නි)
මෙවැනි ලිපි පළකිරිම පිළිබඳව වේරගොඩගේ සජිව විජේවීර මහතාටත් ලංකාදීප කාර්ය මණ්ඩලයටත් ස්තූතියි. (නි)
මේ වැඩේට සම්බන්ධ සියල්ලන්ටම තුති. (අ)
රවීන්ද්‍ර කියන දේ ඇත්ත. තැන් පුසිද්ධ කරන්න එපා. මේ වගේ දේවල් ව්‍යාපාරික දෘෂ්ඨියකින් බලන ආත්මාර්ථකාමී කණ්ඩායමුත් ඉන්නවා. අද ආනයනික විසිතුරු මත්ස්‍යයන් නිසා දේශීය මත්ස්‍යය සම්පතට දැඩි තර්ජන එල්ල වෙලා. මේ වගේ දේශීය මසුන් අභිජනනය කරලා බහුල කරලා විසිතුරු මත්ස්‍යයන් වශයෙන් හදුන්වා දීමේ දිගුකාලීන වැඩපිලිවෙලක් තිබුනොත් අපේ මත්ස්‍යයන් රැක ගත හැකියි. මත්ස්‍යයන් ඇති කිරීම අධ්‍යයනය කිරීම තමයි මගේ විනෝදාංශය. ඒ නිසාම මෙවැනි ලිපි අපිට ගොඩාක් වටිනවා. මේ තීරය දිගටම පවත්වාගෙන යන්න. විවිධ දුෂ්කරතා මධ්‍යෙය් මේ ගැන පර්යේෂණය කරන, වාර්ථා කරන සැමට මාගේ ප්‍රණාමය...(අ)
අපේ රටේ වෙන අපරාධ වලට ලැබෙන ප්‍රචාරය වගේ ප්‍රචාරයක් මෙවැනි වටින ලිපිවලට නොලැබෙන්න ඇයී?(අ)
ස්වභාවික පරිසරය පිලිබඳ දුර්ලභ වැදගත් විද්‍යාත්මක තොරතුරු සරලව පැහැදිලිව ඉදිරිපත් කිරීම ගැන ස්තුතිය . මෙවන් ගවේෂණාත්මක තොරතුරු නිතරම වෙබ් පිටුව සහ පුවත් පත මගින් ඉදිරිපත් කරන මුද්‍රිත මාධ්‍යවේදීන් ට ආදර්ශයක්. (දිල්)
මෙවැනි වැදගත් ලිපි පලකිරීම ගැන ලංකාදීපයට අපේ ප්‍රණාමය.(හේ)
ඇයි මේ සතුන් අල්ලගෙන, බෝකරලා සුදුසු ජලමාර්ග වලට මුදාහරින්නේ නැත්තේ?(හේ)
මහේෂ්ගේ කතාව ඇත්ත. අපේ රටේ වෙන්නේ ඕක තමයි. යම් තැනක් අනාවරණය වුණාම රටේ කට්ටිය එතන වනසනවා. ඒ අනතුර නම් තියනවා තමයි. නමුත් මේ වගේ ලිපි පළනොකරත් බැහැ. විද්‍යා පුවත්පතක කාර්යභාරයද ඉටුකරන දිනපතා ලංකාදීපයට අපගේ උත්තමාචාරය! (නි)
වැදගත් ලිපියක්. ලස්සන දර්ශන රැගත් මේ ලිපිය පළකිරීම ගැන ලංකාදීපයට ස්තුතියි. (නි)
මෙවැනි ලිපි පල කිරිමෙන් පාඨකයා දැනුවත් වන අතරම සිදුවන අනතුරක් ගැනද සදහන් කළ යුතුය. හැම දෙයම මුදලට මනින සමාජයක ජිවත් වන අපි, මෙවැනි ස්ථාන අරක්ෂා කළ යුතුව ඇත. නැතහොත් කබර හුනන් මෙන් මේ සතුන්ද මිල කරනු ඇත. (අ)
සතුන් ඉන්නතැන් ප්‍රසිද්ධ කිරීම මගින් මොහුන්ගේ වාසස්ථාන වලට දැඩි හානියක් විය හැකිය, එම නිසා බොහෝකලක් රැකෙගන සිටි මෙවන් ස්ථාන ප්‍රරසිද්ධ කිරීම නොකළ යුතුයි, අධ්‍යාපන වටිනාකමකින් යුත් මෙවන් ලිපිවැදගත්, නමුත් හදුන්වාදීමක් කිරීම නොකළ යුතුය , බුද්ධිමතුන් සිටින රටකනම් එසේ කලත් කමක් නැත. (අ)
මමත් මුහුදු මාළු සහ මිරිදිය මාළු නිවසේ ඇති කරන කෙනෙක්, මෙවැනි ලිපි ගොඩක් වැදගත්. ඇමෙරිකාවේ සුරතල් මසුන් විකුණන තැන්වල ඉන්න ගොඩක් මාළු ලංකාවෙන් ආනයනය කරපු මාළු. (අ)
සුන්දර අපේ රටේ අනන්‍යතාවය සහ සුන්දරබව හෙළිකරන මෙවන් විෂයයන් පාසල් විෂය මාලාවට එක්කළ යුතුයි. එම විෂය ආගම, විද්‍යාව, ගණිතය ආදී විෂයන් හා සම තත්වයේ ලා සැළකිය යුතුයි. වඳවී හා හීනවී යන අපේ සම්පත් ගැන සහ එවන් සම්පත් සුරැකීමේ වැදගත්කම ගැන මතු පරම්පරාව දැනුවත් කළයුතුයි. ගරු අධ්‍යාපන ඇමතිතුමාගේ අවධානය මේ ගැන යොමුවේවායි ප්‍රාර්ථනා කරමි. ලංකාදීපය ගෙන යන මේ ලිපි මාලාව ඉතාම කාලෝචිතයි. හරබරයි. ලංකාදීපයට මගේ ප්‍රණාමය! (නි)