රුවන්වැලි මහා සෑය ආසන්නයේ පැවති මාරාන්තික උපවාසය අතරතුර රාමඤ්ඤ නිකායෙන් නෙරපන ලද රාජාංගණයේ ශ්‍රද්ධාරතන නමින් පෙනී සිටි චීවරධාරියෙකු හොරට සිවුරු පොරවාගෙන පැමිණ ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කිරීමෙන් අනතුරුව 300කට අධික හෙල්මට් බලකායක් පැමිණ භික්ෂූන් වහන්සේලාට සහ කාන්තාවන්ට පහර දුන් බවත් භික්ෂූන් වහන්සේලාට පහරදී අත්අඩංගුවට ගැනීම  හේතුවෙන් කඨින පින්කම සහ කඨින චීවරය අහිමි වීමේ පාප කර්මයට වත්මන් ආණ්ඩුව ඇතුළු පිරිස කොටස්කාරයන් වන බවත්, ඊට දිට්ඨ ධම්ම වේදනීය විපාක ලැබෙන බවත් පූජ්‍ය බළන්ගොඩ කස්සප හිමියන් ඇතුළු හිමිවරුන් පිරිසක් පැවසූහ.

අනුරාධපුර පූජා භූමිය සංවර්ධනය සඳහා ඉන්දියාවත් සමඟ ගහපු ගිවිසුමට එරෙහිව සාමකාමී මාරාන්තික උපවාසයක් අනුරාධපුර රුවන්වැලි සෑ දන්සල් කලාපයේ පවත්වාගෙන යමින් සිටියදී ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් සමඟ පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරව සිට ඇප ලැබීමෙන් අනතුරුව පූජ්‍ය බළන්ගොඩ කස්සප හිමියන් ඇතුළු සිව් නමක් අද (26) මෙම අදහස් දැක්වූහ.

මෙහිදී අදහස් දැක්වූ පූජනිය බලංගොඩ කස්සප පැවැසුවේ ඉන්දියාවට අවශ්‍ය දේවල් ලබා දීම සඳහා අප්‍රේල් මස 05 වැනිදා ගිවිසුම් හතකින් රට යටත් කළ බවත්, ඉන් අනතුරුව අනුරාධපුරයට පැමිණ නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයාට අල්ලස් ලබා දීමට එකඟ වූ බවත්ය. ඉන්දියාව සමඟ ගිවිසුම් 10ක් අත්සන් කර ඇතත් ඒවායේ අන්තර්ගතය ජනතාව නොදන්නා බව උන්වහන්සේ පැවසූහ. 

තලේමන්නාරමේ සිට අනුරාධපුරය හරහා ත්‍රිකුණාමලයට මංතීරු හතරක මාර්ගයක් සැකසීම, ඉන්දියානු වරාය නගරයක් සඳහා අක්කර 7,000ක භූමියක් ලබා දීම, ත්‍රිකුණාමල වරාය සහ සාම්පූර්හි අක්කර 8,000ක භූමියක් සූර්ය විදුලි බලාගාර සඳහා ඉන්දියානු වෙළෙන්දන්ට ලබා දීම මෙන්ම කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ද ලබා දීමට සූදානම් වීම හරහා ශ්‍රී ලංකා ද්වීපය ඉන්දියානු කොලනියක් කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බව උන්වහන්සේ කියා සිටියහ. 

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව සහ ලංකාව යා කරමින් තෙල් නළයක් එළීමටත්, ත්‍රිකුණාමලය තෙල් ටැංකි හරහා ජාත්‍යන්තර නෞකාවලට තෙල් සපයා ලංකාවට ලැබිය යුතු ඩොලර් ආදායම ඉන්දියාවට යැවීමටත්, විදුලි කේබල් පද්ධතියක් හරහා විදුලිය ආනයනය කරන තත්ත්වයට රට පත් කිරීමටත් කටයුතු කරමින් සිටින බවට උන්වහන්සේ චෝදනා කළහ. 

 2028 වසරේ ණය ගෙවීමට අවශ්‍ය ඩොලර් බිලියන 15 නොමැති බැවින් භාණ්ඩාගාරයේ පවතින ඩොලර් බිලියන 7ක පමණ මුදල සමඟ ඉන්දියාවෙන් හිඟා කමින් රාජ්‍ය බලය පවත්වාගෙන යාමට ආණ්ඩුව උත්සාහ කරන බව කස්සප හිමියෝ පැවසූහ. එළාර,  චෝල සහ කාලිංඝ මාඝ ආක්‍රමණ පරාජය කළාක් මෙන් "වර්තමාන  එළාරගේ" ක්‍රියාකලාපයට ඉඩ නොදෙන බවත්, නොවැම්බර් 07 වැනිදා ආරම්භ කළ සත්‍යග්‍රහයට උදේ පාන්දර පොලිසිය පහර දුන් බවත් උන්වහන්සේ සඳහන් කළහ. 

 12 වැනිදා මාරාන්තික උපවාසයේ යෙදී සිටියදී හොරට සිවුරු පොරවාගත් රාජාංගණයේ ශ්‍රද්ධාරතන නමින් පෙනී සිටි පුද්ගලයා ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් ඇති කළ බවත්, ඉන්පසු 300කට අධික හෙල්මට් බලකායක් පැමිණ භික්ෂූන් වහන්සේලාට සහ බිම වැටී සිටි කාන්තාවන්ට කකුල් කැඩෙන තෙක් පහර දුන් බවත් උන්වහන්සේ පැවසූහ.

මෙම ප්‍රහාරය සැලසුම් කළ අය, අරමුදල් දුන් අය සහ පිටුපස සිටි අය නිශ්චිත වෙලාවට සාක්ෂි සහිතව හෙළි කරන බවත්, චීවර මාසයේ කඨිනය සහ කඨින චීවරය අහිමි කිරීමේ පාප කර්මයට මෙලොවත් පරලොවත් විපාක ලැබෙන බවත්, සිරගෙවල් දහසක දැම්මත් සටන නතර නොකරන බවත් උන්වහන්සේ අවධාරණය කළහ. 

අනුරාධපුර චතුරංග